1. 16. 145-160.
උද්ධම්භාගියසංයෝජන සූත්‍ර
531-546 මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරනු පිණිස … ප්‍රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි සමණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ නිර්‍වාණයට නම්‍ය වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පඤ්චඋද්ධම්භාගිය සංයෝජනයන්ගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ක්‍ෂය කරන පිණිස ... ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
(ඒසනා සූත්‍ර මෙන් සියලු පෙය්‍යාලයන්හි සූත්‍ර සොළස සොළස විතර කටයුතු යි.)
සොළොස් වැනි ඕඝවර්‍ගය යි.
එහි සූත්‍රනාමාවලිය:
ඕඝ, යොඝ, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂොඩශක දශයෙකි. සූත්‍ර එක්සිය සැටෙකි යි.
මග්ගසංයුත්තය නිමියේ යි.
එහි වර්‍ගනාමාවලිය:
පළමුවැන්න අවිජ්ජාවර්‍ගය යි. දෙවැන්න විහාරවර්‍ගය යි කියනු ලැබේ. තෙවැන්න මිච්ඡත්තවර්‍ගය යි. සිවුවැන්න පටිපත්ති වර්‍ගය යි. පස්වැන්න අඤ්ඤතිත්‍ථිවර්‍ගය යි. සවැන්න සූරියපෙය්‍යාල යි. ඒකධම්මවර්‍ග දෙකෙකි. ගඞ්ගාපෙය්‍යාල ද සතරෙකි. තෙළෙස්වැන්න අප්පමාදවර්‍ගය යි. තුදුස්වැන්න බලකරණීයවර්‍ගය යි. පසළොස්වැන්න ඒසනාවර්‍ගය යි. සොළොස්වැන්න ඕඝවර්‍ගය යි.