1. 13. 5-8.
පද සූත්ර
143-146. මහණෙනි, යම්සේ ඇවිදිනසතුන්ගේ යම් කිසි පා සටහන්හු වෙද්ද, ඒ සියල්ලෝ ඇත්පියෙහි ඇතුළත්වීමට යෙත්, ඇත්පිය මහත් බැවින් ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්රමාදය මුල් කොට ඇතියහ. අප්රමාදය සමග පවත්නාහු අප්රමාදය ඔවුන්ට අග්රයයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
(තථාගත සූත්ර මෙන් විස්තර කටයුතු යි)
1. 13. 9-12.
කූට සූත්ර
147-150 මහණෙනි, යම්සේ කුළුගෙයක යම් කිසි ගොනැස්හු (-පරාල) වෙත් නම් ඒ සියල්ලෝ මුදුනට ගියාහු මුදුනට නැමුණාහු මුදුන සමග පවත්නාහු වෙති. මුදුන ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු … බහුල කෙරේ යයි.
1. 13. 13-16.
මූල සූත්ර
151-154. මහණෙනි, යම්සේ යම්කිසි මුල්ගඳහු වෙද්ද කළුඅගිල් ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 17-20.
සාර සූත්රය
155-158. මහණෙනි, යම්සේ යම් කිසි හර ගඳහු වෙද්ද, රත්සඳුන් ඔවුන්ට අග්ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 21-24.
වස්සික සූත්ර
159-162. මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද දෑසමන් ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 25-28.
රාජ සූත්ර
163-166. මහණෙනි, යම්සේ යම් කිසි කුඩාරජහු වෙද්ද, ඒ සියල්ලෝ සක්විතිරජුට අනුව යන්නෝ වෙති සක්විති රජ ඔවුනට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 29-32.
චන්දිම සූත්ර
167-170. මහණෙනි, යම්සේ තරු පිළිබඳ යම් කිසි එළියක් වේ ද, ඒ සියල්ල සඳඑලියෙහි සොළොස්වෙනි කලාවෙන් කලාවකුත් නො අගී. සඳරැස් ඔවුන්ට අග්ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.