13. අප්පමාද වර්‍ගය
1. 13. 1.
තථාගත සූත්‍රය
139. සැවැත්නුවර:
මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද තථාගත වූ අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි.
මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 2.
දුතිය තථාගත සූත්‍රය
140. මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසාන වූ මෝහවිනය පර්‍ය්‍යවසාන වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසාන වූ මෝහ විනය පර්‍ය්‍යවසාන වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 3.
තතිය තථාගත සූත්‍රය
141. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද රූපී වූ ද අරූපී වූ ද සඤ්ඤි වූ ද අසඤ්ඤා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම්කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාදිට්ඨිය වඩයි ... නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 4.
චතුත්‍ථ තථාගත සූත්‍රය
142. මහණෙනි, අපාදක වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද රූපී වූ ද අරූපී වූ ද සඤ්ඤි වූ ද අසඤ්ඤි වූ ද නේවසඤ්ඤීනාසඤ්ඤී වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම්කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 5-8.
පද සූත්‍ර
143-146. මහණෙනි, යම්සේ ඇවිදිනසතුන්ගේ යම් කිසි පා සටහන්හු වෙද්ද, ඒ සියල්ලෝ ඇත්පියෙහි ඇතුළත්වීමට යෙත්, ඇත්පිය මහත් බැවින් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහු අප්‍රමාදය ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
(තථාගත සූත්‍ර මෙන් විස්තර කටයුතු යි)