1. 13. 9-12.
කූට සූත්‍ර
147-150 මහණෙනි, යම්සේ කුළුගෙයක යම් කිසි ගොනැස්හු (-පරාල) වෙත් නම් ඒ සියල්ලෝ මුදුනට ගියාහු මුදුනට නැමුණාහු මුදුන සමග පවත්නාහු වෙති. මුදුන ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු … බහුල කෙරේ යයි.
1. 13. 13-16.
මූල සූත්‍ර
151-154. මහණෙනි, යම්සේ යම්කිසි මුල්ගඳහු වෙද්ද කළුඅගිල් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 17-20.
සාර සූත්‍රය
155-158. මහණෙනි, යම්සේ යම් කිසි හර ගඳහු වෙද්ද, රත්සඳුන් ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 21-24.
වස්සික සූත්‍ර
159-162. මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද දෑසමන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 25-28.
රාජ සූත්‍ර
163-166. මහණෙනි, යම්සේ යම් කිසි කුඩාරජහු වෙද්ද, ඒ සියල්ලෝ සක්විතිරජුට අනුව යන්නෝ වෙති සක්විති රජ ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 29-32.
චන්‍දිම සූත්‍ර
167-170. මහණෙනි, යම්සේ තරු පිළිබඳ යම් කිසි එළියක් වේ ද, ඒ සියල්ල සඳඑලියෙහි සොළොස්වෙනි කලාවෙන් කලාවකුත් නො අගී. සඳරැස් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 33-36.
සුරිය සූත්‍ර
171-174. මහණෙනි, ශරත්කල්හි පහ ව ගිය වලාකුළු ඇති වැස්ස නැවති කල්හි හිරු අහසට නැගෙනුයේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා යම්සේ දිලිසේ ද, තවා ද, බබළා ද, මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 37-40.
වත්‍ථු සූත්‍ර
175-178. මහණෙනි, යම්සේ නූලින් වියන ලද යම් කිසි වස්ත්‍ර වේ ද, කසීවත ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතුයි. මහණෙනි, නොපමා මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ නිවනට නැමෙන සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
(සියල්ල සැවත ම නිදාන කොට ඇත.)
(සියලු සූත්‍ර තථාගතසූත්‍ර මෙන් විස්තර කටයුතු).
තෙළෙස්වැනි අප්‍රමාද වර්‍ග යි.
එහි සූත්‍ර නාමාවලිය:
තථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය යී චතුෂ්ක නවයෙකි. වත්‍ථ නමින් දශවන චතුෂ්ක පදය වේ. (වර්‍ගයෙහි සූත්‍රමුළුල්ල සාලිසෙකි)