1. 13. 4.
චතුත්‍ථ තථාගත සූත්‍රය
142. මහණෙනි, අපාදක වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද රූපී වූ ද අරූපී වූ ද සඤ්ඤි වූ ද අසඤ්ඤි වූ ද නේවසඤ්ඤීනාසඤ්ඤී වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම්කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
1. 13. 5-8.
පද සූත්‍ර
143-146. මහණෙනි, යම්සේ ඇවිදිනසතුන්ගේ යම් කිසි පා සටහන්හු වෙද්ද, ඒ සියල්ලෝ ඇත්පියෙහි ඇතුළත්වීමට යෙත්, ඇත්පිය මහත් බැවින් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහු අප්‍රමාදය ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
(තථාගත සූත්‍ර මෙන් විස්තර කටයුතු යි)
1. 13. 9-12.
කූට සූත්‍ර
147-150 මහණෙනි, යම්සේ කුළුගෙයක යම් කිසි ගොනැස්හු (-පරාල) වෙත් නම් ඒ සියල්ලෝ මුදුනට ගියාහු මුදුනට නැමුණාහු මුදුන සමග පවත්නාහු වෙති. මුදුන ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු … බහුල කෙරේ යයි.
1. 13. 13-16.
මූල සූත්‍ර
151-154. මහණෙනි, යම්සේ යම්කිසි මුල්ගඳහු වෙද්ද කළුඅගිල් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 17-20.
සාර සූත්‍රය
155-158. මහණෙනි, යම්සේ යම් කිසි හර ගඳහු වෙද්ද, රත්සඳුන් ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 21-24.
වස්සික සූත්‍ර
159-162. මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද දෑසමන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
1. 13. 25-28.
රාජ සූත්‍ර
163-166. මහණෙනි, යම්සේ යම් කිසි කුඩාරජහු වෙද්ද, ඒ සියල්ලෝ සක්විතිරජුට අනුව යන්නෝ වෙති සක්විති රජ ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
1. 13. 29-32.
චන්‍දිම සූත්‍ර
167-170. මහණෙනි, යම්සේ තරු පිළිබඳ යම් කිසි එළියක් වේ ද, ඒ සියල්ල සඳඑලියෙහි සොළොස්වෙනි කලාවෙන් කලාවකුත් නො අගී. සඳරැස් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.