8. 1. 9.
කුල සූත්‍රය
423. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන සමඟ කොසොල් දනව්වෙහි චාරිකාවෙහි හැසිරෙන සේක් නාලන්‍දාව වෙත වැඩම කළ සේක. භාග්‍යවතුන් වහන්සේ එහි නාලන්‍දාවෙහි පාවාරික අඹ වනෙහි වැඩ වසන සේක. එසමයෙහි නාලන්‍දාව දුබික් වූවා (දිවි පැවැත්ම) ගැන සැක ඇත්තී (මළ මිනිසුන්ගේ) සුදු ඇට ඇත්තී නොහොත් (බොල් වීමෙන්) සුදු ඇට ඇත්තී ලහයෙන් පැවතුම් ඇත්තී වපුළ ගොයම පිදුරු පමණක් වූවා වෙයි. එකල්හි නිගණ්ඨනාතපුත්ත මහත් වූ නිගණ්ඨ පිරිස සමඟ නාලන්‍දාවෙහි වෙසෙයි. ඉක්බිති නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ නිගණ්ඨනාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාතපුත්ත වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධකපුත්ත ගාමිණීහට නිගණ්ඨනාතපුත්ත මෙය කීය:
ගාමිණී එවු, තෙපි මහණ ගොයුම්හට වාද නගවු. මෙසේ තොපට “මෙසේ මහත් ඉදුහ ඇති මෙසේ මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට අසිබන්‍ධකපුත්ත ගාමිණී විසින් වාද නගන ලදැ” යි කලණ කිතු ගොසෙක් පැන නගී යි. හිමියනි, මෙසේ මහත් ඉදුහ ඇති මෙසේ මහත් අනුභාව ඇති මහණ ගොයුම්හට කෙසේ මම වාද නගන්නෙම් දැ යි. ගාමිණී, එව තෙපි මහණ ගොයුම් වෙත එළඹෙව. එළඹ මහණ ගොයුම්හට මෙසේ කියව: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් කුලයන්ට දයාව වණත් නු, රැකවරණ වණත් නු, අනුකම්පාව වණත් නු යි.
ගාමිණී, මෙසේ පුළුවුස්නා ලද මහණ ගොයුම් තෙමේ ඉදින් තොපට “ගාමිණී එසේ ය. තථාගත තෙමේ නන් අයුරින් කුලයන්ට දයාව වණයි, රැකවරණ වණයි, අනුකම්පාව වණා” යැයි මෙසේ පවසා නම් ඒ මොහුට තෙපි මෙසේ කියන්නහු ය: වහන්ස, එසේ නම් කුමක් හෙයින් සැක පහළ කරන සුදු ඇට ඇති ලහයෙන් පැවතුම් ඇති දුබික් පවත්නා කල භාග්‍යවතුන් වහන්සේ මහත් බික් සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙද් ද? භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පෙළීම පිණිස පිළිපන්හ යි. ගාමිණී, තොප විසින් මේ දෙ කෙළවරක් ඇති පැන පුළුවුස්නා ලද මහණ ගොයුම් තෙමේ වමාරන්නට නො ම හැකි වන්නේ ය. ගිලින්නට නො ම හැකිවන්නේ යි.
එසේ ය හිමියනි යි අසිබන්‍ධකපුත්ත ගාමිණී නිගණ්ඨනාතපුත්තහට පිළිවදන් අස්වා හුනස්නෙන් නැගිට නිගණ්ඨනාතපුත්ත වැඳ පැදකුණු කොට භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් කුලයන්ට දයාව වණත් නු? රැකවරණ වණත් නු? අනුකම්පාව වණත් නු යි. ගාමිණී, එසේ ය. තථාගත තෙමේ නන් අයුරෙන් කුලයන්ට දයාව වණා, රැකවරණ වණා, අනුකම්පාව වණා යි. වහන්ස, එසේ නම් කුමක් හෙයින් භාග්‍යවතුන් වන්සේ සැක පහළ කරන සුදු ඇට ඇති ලහයෙන් පැවතුම් ඇති දුබික් පවත්නා කල්හි මහත් බික් සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙද් ද? භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පෙළීම පිණිස පිළිපන්හ යි.
ගාමිණී, මම යමක් සිහි කෙරෙම් නම් එය මෙයින් එකානූවන කප ය. (මේ දෑතුර) පැසුණු අහරක් දීම් පමණකින් නට විරූ කිසි කුලයක් නො දනිමි. යලි දු ආඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ ප්‍රීත්‍යූපකරණ ඇති බොහෝ ධන ධාන්‍ය ඇති යම් ඒ කුලයෝ වෙත් නම් ඒ සියල්ලෝ දන් දීමෙන් හට ගත්තාහු ද සබවසින් හට ගත්තාහු ද ශීල සංයමයෙන් හටගත්තාහු ද වෙති.
ගාමිණී, කුල නැසීම පිණිස හේතු අටෙකි. ප්‍රත්‍යය අටෙකි. රජුන්ගෙන් හෝ කුල නැසීමට යේ. සොරුන්ගෙන් හෝ කුල නැසීමට යේ. ගින්නෙන් හෝ කුල නැසීමට යේ. දියෙන් හෝ කුල නැසීමට යේ. තැන්පත් කරන ලද්ද හෝ නො ලබත්. වරදවා යොදන ලද සේවකයෝ හෝ කර්‍මාන්ත අත් හරිත්. යමෙක් ඒ භෝගයන් විසුරුවා ද පිඹ හරී ද වනසා දමා ද කුලයෙහි එබඳු කුල අඟුරෙක් හෝ උපදී. අනිස බවම අට වැන්න ය. ගාමිණී, කුල නැසීම පිණිස මේ හේතු අට ය. ප්‍රත්‍යය අට ය. ගාමිණී, මේ හේතු අට මේ ප්‍රත්‍ය අට ඇති කල්හි පවත්නා කල්හි යමෙක් “භාග්‍යවතුන් වහන්සේ කුල සිඳීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල පිරිහෙළීම පිණිස පිළිපන්හ. භාග්‍යවතුන් වහන්සේ කුල නැසීම පිණිස පිළිපන්හ”යි මට මෙසේ කියන්නේ නම් ගාමිණී, ඒ වචනය අත් නො හැර ඒ සිත අත් නො හැර ඒ දිට අත් නො බැහැර කොට ගෙනෙන ලද්දක් බහා තබන ලද්දේ යම් සේ නම් එමෙන් නිරයෙහි වේ යී.