8. 1. 10.
මණිචූළක සූත්‍රය
424. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි රජුගේ ඇතුළු නුවර රජ පිරිසෙහි එක්රැස් ව හිඳගත්තවුන් අතර මේ අතුරු කථාව පහළ විය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී පිළිගනිති යි.
එකල්හි මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිසෙහි හුන්නේ වෙයි. ඉක්බිති මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිසට මෙය කීය: ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියනු මැනව. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇති ය හ. ඉවත් වූ රන්රිදී ඇති ය හ යි. මණිචූළක ගාමිණී තෙමේ ඒ පිරිස හඟවන්නට හැකි විය. එකල්හි මණිචූළක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් මණිචූළක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය:
වහන්ස, මෙහි රජුගේ ඇතුළු පුර රජ පිරිසෙහි එක් රැස් ව හිඳ ගත්ත වුන් අතර මේ අතුරු කථාව පහළ විය: ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන් රිදී කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන් රිදී පිළිගනිතියි. වහන්ස, මෙසේ කී කල්හි මම ඒ පිරිසට මෙය කීමි: ආර්‍ය්‍යයෙනි, මෙසේ නො කියනු මැනවි. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො කැපය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇතියහ. ඉවත් වූ රන් රිදී ඇතියහ යි. වහන්ස, මම ඒ පිරිස හඟවන්නට හැකි වීමි. වහන්ස කිම, මම මෙසේ පවසන්නෙම් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෙක් වෙම් ද? භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් නො ද චෝදනා කෙරෙම් ද? දහමට අනු දහමක් පවසන්නෙම් ද? කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ දැ යි.
ගාමිණී, ඒකාන්තයෙන් තෙපි මෙසේ පවසන්නාහු ම විසින් කියන ලද්දක් කියන්නෙක් ද වවු. මට බොරුවෙන් නො ද චෝදනා කරවු. දහමට ද අනු දමක් පවසවු. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ. ගාමිණී, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට රන්රිදී නො ම කැප ය. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො ඉවසත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ රන්රිදී නො පිළිගනිත්. ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ බහා තැබූ රන් රුවන් ඇතියහ. ඉවත් වූ රන්රිදී ඇතියහ.
ගාමිණී, යමකුට රන්රිදී කැප වේ නම් ඔහුට පස් කම් ගුණ ම කැප වේ. යමකුට පස් කම් ගුණ කැප වේ නම් ඒකාන්තයෙන් අශ්‍රමණ ධර්‍ම ඇත්තෙක. අශාක්‍යපුත්‍රීය ධර්‍ම ඇත්තෙකැ යි මෙය දරන්නෙහි ය. ගාමිණී වැලි දු මම මෙසේ කියමි. තණ වලින් ප්‍රයෝජන ඇත්තහු විසින් තණ සෙවිය යුතු ය. දැව වලින් ප්‍රයෝජන ඇත්තහු විසින් දැව සෙවිය යුතු ය. ගැලින් ප්‍රයෝජන ඇත්තහු විසින් ගැල සෙවිය යුතු ය. පුරුෂයාගෙන් ප්‍රයෝජන ඇත්තහු විසින් පුරුෂයා සෙවිය යුතු ය. ගාමිණී, කිසි අයුරකින් රන්රිදී ඉවසිය යුතු ය, සෙවිය යයි මම නො ම කියමි.
8. 1. 11.
භද්‍රක සූත්‍රය
425. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගම්හි වැඩ වසන සේක. එකල්හි භද්‍රක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: “මැනවැ වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දේශනා කරන සේක්වා” යි. ගාමිණී ඉදින් මම තොපට ඉකුත් කල ඇරබ “ඉකුත් කල මෙසේ විය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, ඉදින් මම තොපට මතු කල ඇරබ “මතු කල මෙසේ වන්නේ ය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා ද තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, වැලි දු මම මෙහි ම හුන්නෙම් මෙහි ම හුන් තොපට දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: