1. ගාමණී වර්‍ගය
8. 1. 1.
චණ්ඩගාමණී සූත්‍රය
415. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් සැඬ යයි ම ගණනට යේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය ද? වහන්ස, යම් හෙයකින් මෙහි එකෙක් මොළොක් යයි ම ගණනට යේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය දැ?” යි.
“ගාමිණී, මෙහි එකකුගේ රාගය අප්‍රහීණ වූයේ වෙයි. රාගය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬ යයි ම ගණනට යේ. දෝසය අප්‍රහීණ වූයේ වෙයි. දෝසය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬ යයි ම ගණනට යේ. මෝහය අප්‍රහීණ වූයේ වෙයි. මෝහය අප්‍රහීණ බැවින් අන්හු කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය පහළ කෙරෙයි. හෙතෙමේ සැඬයි ම ගණනට යේ. ගාමිණී, යම් හෙයකින් මෙහි එකෙක් සැඬ යයි ම ගණනට යේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය යයි.
ගාමිණී, මෙහි එකකුගේ රාගය ප්‍රහීණ වූයේ වෙයි. රාගය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. දෝසය ප්‍රහීණ වෙයි. දෝසය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේ කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. මෝහය ප්‍රහීණ වෙයි. මෝහය ප්‍රහීණ බැවින් අන්හු නො කුප්පත්. මෙරමා විසින් කුප්පනු ලබන්නේත් කෝපය නො පහළ කෙරෙයි. හෙතෙමේ මොළොක් යයි ම ගණනට යේ. ගාමිණී, යම් හෙයකින් මෙහි එකෙක් මොළොක් යයි ම ගණනට යේ නම් එයට මේ හේතු යි. මේ ප්‍රත්‍ය යයි.”
මෙසේ වදාළ කල්හි චණ්ඩගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: “වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. වහන්ස යම් සේ යටිකුරු වූවක් හෝ උඩුකුරු කරන්නේ ද, වැසුණු දෙයක් හෝ වැසුම් හරින්නේ ද, මංමුළා වූවකුට හෝ මඟ කියා දෙන්නේ ද, ඇස් ඇත්තෝ රූ දකින්නාහ යි අඳුරෙහි හෝ තෙල් පහනක් දරන්නේ ද, එසෙයින් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් නයින් දහම් පවසන ලදී. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේත් දහමත් බික් සඟනත් සරණ යෙමි. අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උවසුවකු කොට මා දරන සේක්වා” යි.
8. 1. 2.
තාලපුට සූත්‍රය
416. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි තාලපුට නම් නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්ස්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස්ව හුන් තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදී. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
“ගාමිණී, කම් නැත. මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. දෙවන වටදු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, ඇත්තෙනුත් බොරුවෙනුත් ජනයා සතුටු කරවා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි. “ගාමිණී, කම් නැත මෙය තිබේ වා. මෙය නහමක් මා පුළුවුස්ව” යි. තෙවන වට දු තාලපුට නටගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, යම් ඒ නළුවෙක් රඟ මැද, නැටුම් මැද, සැබෑවෙනුත් බොරුවෙනුත් ජනයා සිනා ගන්වා ද, ඇලුම් කරවා ද, හෙතෙමේ කාබුන් මරණින් මතු පහාස දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’යි. මෙය මා විසින් පෙර විසූ ඇජර පැජර නළුවන් කියද්දී අසන ලදි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.