8. 1. 11.
භද්‍රක සූත්‍රය
425. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම් ගම්හි වැඩ වසන සේක. එකල්හි භද්‍රක ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: “මැනවැ වහන්ස, මට භාග්‍යවතුන් වහන්සේ දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දේශනා කරන සේක්වා” යි. ගාමිණී ඉදින් මම තොපට ඉකුත් කල ඇරබ “ඉකුත් කල මෙසේ විය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, ඉදින් මම තොපට මතු කල ඇරබ “මතු කල මෙසේ වන්නේ ය” යි දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙම් නම් එහි ලා ද තොපට සැකයෙක් වන්නේ ය, විමතියක් වන්නේ ය. ගාමිණී, වැලි දු මම මෙහි ම හුන්නෙම් මෙහි ම හුන් තොපට දුකෙහි හට ගැනීමත් අස්තගමයත් දෙසන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. එසේ ය වහන්සැ යි භද්‍රක ගාමිණී භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වීය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් කෙනෙකුන්ගේ නැසීම හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් උරුවේලකප්පයෙහි තොපට එබඳු මිනිස්සු ඇද්දැ යි. වහන්ස, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛදෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් උරුවේලකප්පයෙහි මට එබඳු මිනිස්සු ඇතැ යි. ගාමිණී, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් උරුවේලකප්පයෙහි තොපට එබඳු මිනිස්සු ඇද්දැ? යි. වහන්ස, යම් කෙනෙකුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් උරුවේලකප්පයෙහි මට මෙබඳු මිනිස්සු ඇතැ යි.
ගාමිණී, යම් හෙයකින් තොපට උරුවේලකප්ප වැසි ඇතැම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ගාමිණී, යම් හෙයකින් තොපට උරුවේලකප්ප වැසි ඇතැම් මිනිස්සුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ තොපට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි. වහන්ස, උරුවේලකප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ උපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්‍දරාගය ඇත. වහන්ස, උරුවේලකප්ප වැසි යම් මිනිසුන්ගේ නැසීමෙන් හෝ බැඳීමෙන් හෝ පිරිහීමෙන් හෝ ගැරහීමෙන් හෝ මට සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නූපදනාහු නම් ඔවුන් කෙරෙහි මට ඡන්‍ද රාගය නැතැ යි.
ගාමිණී, දුටු දත් අකාලික වූ පැමිණි බැසගත් මේ දහම් තෙපි අතීතානාගත දෙක්හි නය පමුණුවවු. ඉකුත් කල යම් කිසි දුකක් උපදනේ උපදී ද, ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුල් ය. මතු කල යම් කිසි දුකක් උපදනේ උපදින්නේ ද ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. වහන්ස අසිරියෙකි. වහන්ස පුදුමයෙකි. වහන්ස ඉකුත් කල යම් කිසි දුකක් උපන්නේ උපදී නම් ඒ සියල්ල ආසාව මුල් කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුල් ය. මතු කල යම් කිසි දුකක් උපන්නේ උපදින්නේ නම් ඒ සියල්ල ආසාව මුල්කොට ඇත්තේ ය. ආසාව නිදාන කොට ඇත්තේ ය. දුකට ආසාව ම මුලැ යි. මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතරම් මැනවින් වදාරන ලද්දේ ද?