8. 1. 12.
රාසිය සූත්‍රය
426. එකල්හි රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් රාසිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. වහන්ස, ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහ යි. රූක්‍ෂජීවිකාව ඇති සියලු තපසුන්ට ඒකාන්තයෙන් දොස් කිය යි. අපහාස කෙරේ යි. ම විසින් මෙය අසන ලදි. වහන්ස, “ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහයි. රළු දිවි ඇති සියලු තපසුන්ට එකැතින් දොස් කියයි. අපහාස කෙරේ” යි යම් ඒ කෙනෙක් මෙසේ කීහු නම්, වහන්ස, කිම ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් කියන ලද්දක් කියන සුලු ද? භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නො කෙරෙද් ද? දහමට අනුකූල දහමක් ප්‍රකාශ කෙරෙද් ද? කිසියම් කරුණු සහිත වාදානුපාතයෙක් ගැරහිය යුතු බවට නො ම පැමිණේ දැ යි.
ගාමිණී, ශ්‍රමණ ගෞතම සියලු තපස ගරහයි. රළු දිවි ඇති තපසුන්ට එකැතින් දොස් කියයි. අපහාස කෙරේ යි, යම් කෙනෙක් මෙසේ කීහු නම් ඔහු ම විසින් කියන ලද්දක් කියන සුලු නො වෙති. ඔහු අසත්‍යයෙන් අභූතයෙන් මට චෝදනා ද කෙරෙති. ගාමිණී, පැවිද්දහු විසින් නො සෙවිය යුතු මේ අන්ත දෙකෙකි: ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුන් හට අයත් අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ කාමයන්හි යම් මේ කම්සුවය අනුව යෙදීමකුත් වේ ද, දුක් වූ අනාර්‍ය්‍ය වූ අනර්‍ත්‍ථයෙන් යුක්ත වූ යම් මේ සිරුරට දුක් දීමෙහි යෙදීමකුත් වේ ද (යන මේ දෙකයි). ගාමිණී, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ වෙසෙසින් අවබෝධ කරන ලද මැදුම් පිළිවෙත ඇස ඇති කරන්නේ ය. නැණ ඇති කරන්නේ ය. වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඇස ඇති කරන නැණ ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතක් කෙලෙස් සන්සිඳීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද, මේ අරි අටඟි මඟ මැ යි. එනම්: සම්මා දිට්ඨි … සම්මා සමාධි යි. ගාමිණී, තථාගතයන් විසින් අවබෝධ කරන ලද ඒ මේ මැදුම් පිළිවෙත ඇස ඇති කරන්නේ ය. නැණ ඇති කරන්නේ ය. සන් හිඳීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.
ගාමිණී, මේ කාමභෝගීහු තිදෙනෙක් ලොව ඇතියහ. විද්‍යාමානයහ. කවර තිදෙනෙක් ද යත්: ගාමිණී, මෙහි ඇතැම් කාමභෝගියෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් නො කෙරෙයි. නො පිණවයි. අනුන්ට නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරෙයි. පිණවයි. අනුන්ට නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් නො දැහැමින් සැහැසිකමින් භෝග සොයයි. නො දැහැමින් සැහැසිකමින් භෝග සොයා තමා සුවපත් කෙරෙයි. පිණවයි. අනුන්ට බෙදයි. පින් ද කෙරෙයි.
ගාමිණී, මෙහි ඇතැම් මෙහි ඇතැම් කම්සැප විඳින්නෙක් දැහැමින් හා නො දැහැමින් ද සැහැසිකමින් හා නො සැහැසිකමින් ද භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සුවපත් නො කෙරෙයි. නො පිණවයි. නො බෙදයි. පින් නො කරයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. නො බෙදයි. පින් නො කෙරෙයි. ගාමිණී, මෙහි ඇතැම් කම් සුව විඳින්නෙක් දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයයි. දැහැමිනුත් නො දැහැමිනුත් සැහැසිකමිනුත් නො සැහැසිකමිනුත් භෝග සොයා තමා සැපවත් කෙරෙයි. පිණවයි. බෙදයි. පින් ද කෙරෙයි.