8. 1. 13.
පාටලිය සූත්‍රය
427. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි උත්තරක නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩ වසන සේක. එකල්හි පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස්ව හුන්නේ ය. එකත් පස්ව හුන් පාටලිය ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේ ය: වහන්ස, මහණ ගොයුම්හු ‘මායා දනිති’යි මෙය මා විසින් අසන ලදි. වහන්ස, යම් කෙනෙක් මහණ ‘ගොයුම්හු මායා දනිති’ යි මෙසේ කියත් නම්, වහන්ස, කිම ඔහු භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දක් කියන්නෝ ද, භාග්‍යවතුන් වහන්සේට බොරුවෙන් චෝදනා නො ද කෙරෙත් ද, දහමට ද අනු දහමක් පවසත් ද, කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ ද? වහන්ස, අපි වනාහි භාග්‍යවතුන් වහන්සේ අබිබවා නො කියනු කැමැත්තෝ වෙමු යි.
ගාමිණී, යම් කෙනෙක් ‘මහණ ගොයුම්හු මායා දනිති’යි මෙසේ කියත් නම් ඔහු ම විසින් කියන ලද්දක් කියන්නෝත් වෙති. බොරුවෙන් මා අබිබවා නො ද කියති. දහමට ද අනු දහමක් පවසති. කරුණු සහිත කිසියම් වාදානුපාතයෙක් ගැරහිය යුතු තැනට නො ද පැමිණේ යි. පින්වත්නි, මහණ ගොයුම්හු මායා දනිති යි ඒ මහණ බමුණන්ගේ සැබෑ වූ ම තෙපුල අපි නො අදහමු. පින්වත්නි, මහණ ගොයුම්හු ඒකාන්තයෙන් මායා ඇති සේකැ යි. ගාමිණී, යමෙක් මම මායා දනිමි යි මෙසේ කියා නම් හෙතෙමේ මම මායා ඇත්තෙක් මි යි මෙසේ කිය යි. භාග්‍යවතුන් වහන්ස, එය එසේම වේ. සුගතයන් වහන්ස, එය එසේ ම වේ. ගාමිණී, එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු ය.
ගාමිණී, ඒ කිමැ යි හඟිහු ද, ගාමිණී තෙපි කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දනිවු දැ යි. වහන්ස, මම කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දනිමි යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද? කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළහු කුමක් ප්‍රයෝජන කොට ඇත්තෝ දැ යි. වහන්ස, කෝලිය රජුන්ගේ යම් සොරු වෙත් නම් ඔවුන් වළක්වන්නටත් කෝලිය රජුන්ගේ යම් පණිවුඩ පනත් වේ නම් ඒවා ගෙන යෑමටත් ය. වහන්ස, කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළහු මේ ප්‍රයෝජනය පිණිස වෙති යි. ගාමිණී, ඒ කිමැයි හඟිවු ද, තෙපි කෝලිය රජුන්ගේ ඒ ලම්බචූළක සෙබළුන් සිල්වතුන් කොට හෝ දුසිලුන් කොට හෝ දනිවු දැ යි. වහන්ස, මම කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිල් කොට පාප ස්වභාව ඇත්තාවුන් කොට දනිමි. ලොව යම් කෙනෙක් දුසිල්හු නම් පාප ස්වභාව ඇත්තාහු නම් කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ ඔවුනතුරෙන් එක්තරා කෙනෙක් වෙති යි.
ගාමණී, යමෙක් “පාටලිය ගාමිණී තෙමේ කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිලුන් කොට පාප ස්වභාව ඇත්තවුන් කොට දනී. පාටලිය ගාමිණී තෙමේ ද දුසිලෙකි. පාප ස්වභාව ඇත්තෙකි” යි මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනවින් කියන්නේ දැයි. වහන්ස, මෙය නෙවේ ම ය. වහන්ස, කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ අන්‍යයෝ ය. මම අනෙකෙක්මි. කෝලිය රජුන්ගේ ලම්බචූළක භටයෝ අන් ස්වභාව ඇතියහ. මම අන් ස්වභාව ඇත්තෙක්මි යි. ගාමිණී, තෙපි “පාටලිය ගාමිණී තෙමේ කෝලිය රජුන්ගේ ලම්බචූළක සෙබළුන් දුසිලුන් කොට පාප ස්වභාව ඇත්තවුන් කොට දනී. පාටලිය ගාමිණී තෙමේ දුසිලෙක් පාප ස්වභාව ඇත්තෙක් නො ද වේ” යි කියමන ලබන්නහු නම් කුමක් හෙයින් තථාගත තෙමේ “තථාගතයෝ මායා දනිති. තථාගතයෝ මායා ඇත්තෝ නො ද වෙති” යි කියමන නො ලබන්නේ දැ යි.
ගාමිණී, මම මායාවත් මායාවේ විපාකත් දනිමි. මායා ඇත්තේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවසව පතිත වන නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම පණිවායත් පණිවායෙහි විපාකත් දනිමි. පණිවායෙන් යුත් පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම අයිනාදනත් අයිනාදනෙහි විපාකයත් දනිමි. අයිනාදනැති පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම කම්හි මිසහසරත් කම්හි මිසහසරෙහි විපාකත් දනිමි. කම්හි මිසහසරැති පුඟුල් තෙමේ යම් සේ පිළිපන්නේ අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.
ගාමිණී, මම මුසවාත් මුසවාහි විපාකත් දනිමි. මුසවා ඇති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම පිසුනු වදනත් පිසුනු වදන්හි විපාකත් දනිමි. පිසුනු වදන් ඇත්තේ යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම රළු බසත් රළු බස්හි විපාකත් දනිමි. රළු බසැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම හිස් බසත් හිස් බස්හි විපාකත් දනිමි. හිස් බසැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.
ගාමිණී, මම දැඩි ලොබත් දැඩි ලොබෙහි විපාකත් දනිමි. දැඩි ලොබැති පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම කිපුම් දොසත් කිපුම් දොස්හි විපාකත් දනිමි. කෝපයට පැමිණි සිතැති පුඟුල් යම් සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි. ගාමිණී, මම මිස දිටුත් මිස දිටුහි විපාකත් දනිමි. මිස දිටු පුඟුල් යම්සේ පිළිපන්නේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් ඒ ද දනිමි.