8. 1. 8.
සඞ්ඛධම සූත්‍රය
422. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹ වනයෙහි වැඩ වසන සේක. එකල්හි නිගණ්ඨ ශ්‍රාවක වූ අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණීහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගාමිණී, නිගණ්ඨනාථපුත්ත කෙසේ නම් සව්වන්ට දහම් දෙසා දැ යි.
වහන්ස, නිගණ්ඨනාථපුත්‍රයෝ සව්වන්ට මෙසේ දහම් දෙසති: “යම් කිසි කෙනෙක් පරපණ නසත් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් නුදුන් දෑ ගන්නෝ ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යම් කිසි කෙනෙක් කාමයෙහි වරදවා හැසිරෙද් ද ඒ සියලු දෙන අපායට යන්නෝය. නිරයට යන්නෝ ය. යම්කිසි කෙනෙක් මුසවා බෙණෙද් ද ඒ සියලු දෙන අපායට යන්නෝ ය. නිරයට යන්නෝ ය. යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් (නිරයට) පමුණු වනු ලැබේ ය යි. වහන්ස, නිගණ්ඨනාථ පුත්‍රයෝ සව්වන්ට මෙසේ දහම් දෙසති යි.
ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාථ පුත්තගේ වචන පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් පර පණ නසා ද රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) හේ යම් කලෙක හෝ පරපණ නසා ද, හේ යම් කලෙක හෝ පරපණ නො නසා ද එයින් කවර කලෙක් ඉතා වැඩි දැ යි.
වහන්ස, යම් ඒ පුරුෂයෙක් පරපණ නසා ද, රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) හේ යම් කලෙක පරපණ නසා නම් ඒ කාලය ඉතා මඳ ය. වැලි දු හේ යම් කලෙක පරපණ නො නසා නම් ඒ කාලය ම ඉතා වැඩි ය යි. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණුවනු ලැබේ යයි. මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? යම් ඒ පුරුෂයෙක් නුදුන් දෑ ගන්නේ නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ නුදුන් දෑ ගනී ද යම් කලෙක හේ නුදුන් දෑ නො ගනී ද එයින් කවර කලෙක් ඉතා වැඩිදැ යි. වහන්ස, යම් පුරුෂයෙක් නුදුන් දෑ ගන්නේ නම් රැය හෝ දවාල හෝ කල් නො කල් ගෙන (සලකන විට) යම් කලෙක හේ නුදුන් දෑ ගනී ද ඒ කාලය ඉතා මඳ ය. යලිදු යම් කලෙක හේ නුදුන් දෑ නො ගනී ද ඒ කාලය ම ඉතා වැඩි ය යි. ගාමිණී, යමක් බහුල කොට යමක් බහුල කොට වෙසේ නම් එයින් එයින් පමුණු වනු ලැබේ ය යි මෙසේ ඇති කල්හි නිගණ්ඨනාත පුත්තගේ වචනය පරිදි කිසිවෙක් අපායට යන්නෙක් නිරයට යන්නෙක් නො වන්නේ ය.