8. 1. 7.
ඛෙත්තූපම සූත්‍රය
421. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්‍ධකපුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්‍ධක පුත්ත ගාමිණී තෙමේ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැල කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වැඩ වෙසෙන සේක් නො වෙද්දැ යි. ගාමිණී, එසේ ය. තථාගත තෙමේ සියලු සතුන් කෙරෙහි හිතානුකම්පා ඇති ව වෙසේ ය යි. වහන්ස, එසේ නම් කුමක් හෙයින් භාග්‍යවතුන් වහන්සේ ඇතැමුන් ට සකසා දහම් දෙසන සේක් ද, ඇතැමුන් ට එසේ සකසා දහම් නො දෙසන සේක් දැ යි. ගාමිණී, එසේ වී නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු.
ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි ගොවි ගැහැවියකුට කෙත් තුනෙක් වේ. එක් කෙතක් අග ය. එක් කෙතක් මැඳුම් ය. එක් කෙතක් නිසරු ය. තද ය. කර මැටි සහිත ය. මුඩු බිමෙකි. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? ඒ ගොවි ගැහැවි තෙමේ බිජු වපුරනු කැමැත්තේ කොතැන්හි පළමු කොට වපුරන්නේ ද, යම් ඒ අග කෙත ද, යම් ඒ මැදුම් කෙත ද, යම් ඒ නිසරු ද කරමැටි සහිත මුඩු බිම දැ යි. වහන්ස, ඒ ගොවි ගැහැවි තෙමේ බිජු වපුරනු කැමැත්තේ යම් ඒ අග කෙතක් වේ ද, එහි වපුරන්නේ ය. එහි වපුරා යම් ඒ මැදුම් කෙතක් වේ ද, එහි වපුරන්නේ ය. එහි වපුරා යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිමක් වේ ද, එහි වපුරන්නේ හෝ නො ද වපුරන්නේ හෝ වෙයි. ඒ කවර හෙයින යත්: යටත් පිරිසෙයින් ගෙරින්ට අහර පිණිස වත් වන්නේ ය යි කියා යි.
ගාමිණී, යම් සේ යම් ඒ කෙත අග ද, මට මහණ මෙහෙණහු එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදෙක් පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)
ගාමිණී, යම් ඒ මැදුම් කෙත යම් සේ ද, මට උවසු උවැසියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: ගාමිණී, මොහු වනාහි මා පිහිට කොට ඇත්තෝ මා ලෙන් කොට ඇත්තෝ මා රැකවරණ කොට ඇත්තෝ මා පිළිසරණ කොට ඇත්තෝ ව වෙසෙති. (එහෙයිනි.)
ගාමිණී, යම් ඒ නිසරු තද කරමැටි සහිත මුඩු බිම වූ කෙත යම් සේ ද, මට අන්තොටු මහණ බමුණු පිරිවැජියෝ එබඳු හ. ඔවුන්ට මම දහම් දෙසමි. මුල කලණ වූ මැද කලණ වූ අග කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදු පිරිපුන් පිරිසිදු බඹසර පවසමි. ඒ කවර හෙයින යත්: එක් පදයකුදු දැන ගන්නාහු නම් ඉතා මැනවි. එය ඔවුන්ට දිගු කලක් මුළුල්ලෙහි හිත පිණිස සුව පිණිස වන්නේ ය කියා යි.
ගාමිණී, යම් සේ පුරුෂයකුට මහ දිය බඳුන් තුනෙක් වේ ද, එක් දියබඳුනෙක් සිදුරු රහිත ය. නො වැගිරෙන්නේ ය. නො සිඳෙන්නේ ය. එක් දිය බඳුනෙක් සිදුරු රහිත ය. වැගිරෙන්නේ ය. සිඳෙන්නේ ය. එක් දිය බඳුනෙක් සිදුරු සහිත ය. වැගිරෙන්නේ ය. සිඳෙන්නේ ය. ගාමිණී, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරිස් තෙමේ දිය බහාලනු කැමැත්තේ යම් ඒ සිදුරු රහිත නො වැගිරෙන නො සිඳෙන බඳුනෙක් වේ ද, යම් ඒ සිදුරු රහිත වැගිරෙන සිඳෙන බඳුනෙක් වේ ද, යම් ඒ සිදුරු සහිත වැගිරෙන සිඳෙන බඳුනෙක් වේ ද (මෙයින්) කොහි පළමු කොට බහා ලන්නේ දැ යි.