8. 1. 6.
අසිබන්ධක සූත්රය
420. එක් කලෙක භාග්යවතුන් වහන්සේ නාලන්දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්ධකපුත්ත නම් ගාමණී තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්ධකපුත්ත ගාමණී තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, පච්ඡාභූමි වැසි කෙණ්ඩි දරන සෙවෙල් මාලා ඇති දියට බස්නා ගිනි පුදන ඒ බමුණෝ මළහු කලුරිය කළහු උඩට යවත්. හඳුන්වත්. දෙව්ලොවට යවත්. වහන්ස, අර්හත් සම්යක් සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ යම්සේ සියලු ලෝකයා කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම්, එසේ කරන්නට පොහෝනාහු වෙත් දැ?”යි.
“ගාමණී, එසේ වී නම් මෙහි ලා තා ම පුළුවුස්නෙමි. යම් සේ තොපට වැටහේ නම් එසේ එය විසඳන්නහු ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි පරපණ නසන, නුදුන් දෑ ගන්නා, කාමයෙහි වරදවා හැසිරෙන, මුසවා බෙණෙන, පිසුනුබස් ඇති, රළු වදන් ඇති, හිස්බස් බෙණෙන, දැඩි ලෝබ ඇති, කිපුණු සිත් ඇති, මිසදිටු ගත් පුරුෂයෙක් වන්නේ ය. මහාජන සමූහයා ඒ මොහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේවා” යි යදින්නේ ය. පසසන්නේ ය. බැඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහත් ජනසමූහයාගේ යැදීම හේතු කොට ගෙන හෝ පැසසීම හේතු කොට ගෙන හෝ බඳැදිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
“ගාමණී, යම් සේ පුරුෂයෙක් මහ ගලක් ගැඹුරු දියවිලෙක බහා ලන්නේ ද මහජන සමූහයා ඒ මෙය වෙත එක්ව රැස්ව ‘එම්බා මහගල, මතු වෙව. එම්බා මහගල, පා වෙව. එම්බා මහගල, ගොඩ නැගෙව’ යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහජන සමූහයා ගේ යැදීම හේතු කොට ගෙන හෝ පැසසීම හේතු කොටගෙන හෝ බඳැදිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ මහගල මතු වන්නේ හෝ පා වන්නේ හෝ ගොඩ නැගෙන්නේ හෝ වේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”
“ගාමණී, එසෙයින් ම යම් ඒ පුරුෂයෙක් පරපණ නසන්නේ, නුදුන් දෑ ගන්නේ, කාමයෙහි වරදවා හැසිරෙන්නේ, මුසවා බෙණෙන්නේ, පිසුනුබස් ඇත්තේ, රළු බස් ඇත්තේ, හිස් බස් බෙණෙන්නේ, දැඩි ලෝබ ඇත්තේ, කිපුණු සිත් ඇත්තේ, මිසදිටු ගත්තේ වේ ද, හුදෙක් මහජන සමූහයා ඔහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේවා” යි යදින්නේ ද, පසසන්නේ ද, බඳැදිලි ව පැදකුණු කරන්නේ ද, එහෙත් ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ” ය.
“ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මෙහි පණිවායෙන් වෙන් වූ, අයිනාදනින් වෙන් වූ, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැළකුණු, මුසවායෙන් වැළකුණු, පිසුණු බසින් වෙන් වූ, රළු වදනින් වෙන් වූ, හිස් බස් බිණීමෙන් වැළකුණු, දැඩි ලෝබ නැති, නො කිපුණු සිත් ඇති, සමිදිටු ගත් පුරුෂයෙක් වන්නේ ය. මහජන සමූහයා ඒ මොහු වෙත එක් ව රැස් ව “මේ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණේව” යි යදින්නේ ය. පසසන්නේ ය. බඳැදිලි ව පැදකුණු කරන්නේ ය. ගාමණී, ඒ කිමැ යි හඟිවු ද? මහත් ජනසමූහයා ගේ යැදුම හේතු කොට ගෙන හෝ පැසසුම හේතු කොට ගෙන හෝ බදැඳිලි ව පැදකුණු කිරීම හේතු කොට ගෙන හෝ ඒ පුරිස් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත වූ නිරයට පැමිණෙන්නේ දැ?”යි. “වහන්ස, මෙය නො වේ ම ය.”