8. 1. 4.
හත්ථාරෝහ සූත්රය
418. එකල්හි හත්ථාරෝහගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)
8. 1. 5.
අස්සාරෝහ සූත්රය
419. එකල්හි අස්සාරෝහගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි. ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි.
දෙවන වට දු ... තෙවන වට දු අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි.
ගාමිණී, මම ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මෙය නහමක් මා පුළුවුස්ව’යි තොපගෙන් ඒකාන්තයෙන් නො ලබමි. එහෙත් තොපට මම විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නො වෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමක ය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් එය ඔහුගේ මිසදිට වේ. ගාමිණී, මිසදිටු ගත් පුරිස් පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා ගතියක් මම කියමි.”
මෙසේ වදාළ කල්හි අස්සාරෝහ ගාමිණී තෙමේ හැඬීය. කඳුලු හෙලීය. “ගාමිණී, මම ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි මෙය තොපගෙන් නො ලදිමි යි.” “වහන්ස, භාග්යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් ඒ ගැන මම නො හඬමි. වැලි දු වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර අසරුවන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි. වහන්ස ඉතා මැනවි. වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවකු කොට මා දරන සේක්වා යි.)”
8. 1. 6.
අසිබන්ධක සූත්රය
420. එක් කලෙක භාග්යවතුන් වහන්සේ නාලන්දාව සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි අසිබන්ධකපුත්ත නම් ගාමණී තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අසිබන්ධකපුත්ත ගාමණී තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, පච්ඡාභූමි වැසි කෙණ්ඩි දරන සෙවෙල් මාලා ඇති දියට බස්නා ගිනි පුදන ඒ බමුණෝ මළහු කලුරිය කළහු උඩට යවත්. හඳුන්වත්. දෙව්ලොවට යවත්. වහන්ස, අර්හත් සම්යක් සම්බුද්ධ වූ භාග්යවතුන් වහන්සේ යම්සේ සියලු ලෝකයා කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම්, එසේ කරන්නට පොහෝනාහු වෙත් දැ?”යි.