8. 1. 3.
යෝධාජීව සූත්රය
417. එකල්හි යෝධාජීව ගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස්ව හුන් යෝධාජීව ගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම් ඒ යෝධාජීවයෙක් (යුද්ධයෙන් ජීවත් වන්නෙක්) යුද්ධයෙහි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් කියද්දී මවිසින් අසන ලදි. මෙහි ලා භාග්යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
“ගාමිණී කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව” යි. දෙවනවට දු ... තෙවන වටදු ... යෝධාජීව ගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් කියද්දී මවිසින් අසන ලදි. මෙහි ලා භාග්යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ?” යි.
“ගාමිණී මම ‘ගාමිණී, කම්නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි. ඒකාන්තයෙන් මෙය තොපගෙන් නො ලබමි. එහෙත් මම තොපට විසඳන්නෙමි. ගාමිණී, යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි ‘මේ සත්ත්වයෝ නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නොවෙත්වා’ හෝ යි උත්සාහ කෙරේ ද වෑයම් කෙරේ ද, ඔහුගේ ඒ සිත පළමු ම ලාමකය. නපුරු කොට කරන ලද්දේ ය. වරදවා පිහිටුවන ලද්දේ ය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. ඉදින් ඔහුට ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහුගේ මිස දිටු වෙයි. ගාමිණී, මිසදිටු ගත් පුරිස පුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා එකක් කියමි.”
මෙසේ වදාළ කල්හි යෝධාජීව ගාමිණී තෙමේ හැඬීය. කඳුල් හෙලීය. ගාමිණී මම “ගාමිණී, කම් නැත. මෙය තිබ්වා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි මෙය තොපගෙන් නො ලදිමි” යි.
“වහන්ස, භාග්යවතුන් වහන්සේ මට යමක් වදාළ සේක් නම් මේ ගැන මම නො හඬමි. වහන්ස, වැලිදු ‘යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ ය’ යි පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි.
වහන්ස ඉතා මැනවි, වහන්ස ඉතා මැනවි. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)”
8. 1. 4.
හත්ථාරෝහ සූත්රය
418. එකල්හි හත්ථාරෝහගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... අද පටන් දිවි හිමියෙන් සරණ ගිය (උවසුවෙකු කොට මා දරන සේක්වා යි.)
8. 1. 5.
අස්සාරෝහ සූත්රය
419. එකල්හි අස්සාරෝහගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි. ‘ගාමිණී, කම් නැත. මෙය තිබේවා. මා මෙය නහමක් පුළුවුස්ව’ යි.
දෙවන වට දු ... තෙවන වට දු අස්සාරෝහ ගාමිණී තෙමේ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. “වහන්ස, ‘යම් ඒ අසරුවෙක් යුද්ධයෙහි උත්සාහ කෙරේ ද, වෑයම් කෙරේ ද, උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්, මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවට පැමිණේ ය’ යි මෙය පෙර විසූ ඇජර පැජර අසරුවන් කියද්දී මවිසින් අසන ලදි. මෙහිලා භාග්යවතුන් වහන්සේ කුමක් වදාරන සේක් දැ” යි.