7. 1. 8.
නිගණ්ඨ සූත්රය
412. එසමයෙහි නිගණ්ඨනාතපුත්ත තෙමේ මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ වෙයි. නිගණ්ඨනාතපුත්ත තෙමේ මහත් නිගණ්ඨ පිරිසක් සමඟ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ ය යි චිත්ත ගැහැවි ඇසුයේ ය. එකල්හි චිත්ත ගැහැවි බොහෝ උවසුවන් සමඟ නිගණ්ඨනාතපුත්ත වෙත එළඹියේ ය. එළඹ නිගණ්ඨනාතපුත්ත සමඟ සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවිහට නිගණ්ඨනාතපුත්ත මෙය කී ය: ගැහැවි, තෙපි අවිතර්ක අවිචාර සමාධියෙක් ඇත, විතර්ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇතැයි යන මහණ ගොයුම්ගේ වචනය අදහවු දැ? යි.
හිමියනි, අවිතර්ක අවිචාර සමාධියෙක් ඇත, විතර්ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇත යන මෙහිලා මම භාග්යවතුන් වහන්සේගේ විශ්වාසයට නො යමි යි. මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත තෙමේ සිය පිරිස හිස ඔසවා බලා මෙය කී ය: භවත්හු මෙය දකිත්වා මේ චිත්ත ගැහැවි කෙතෙක් ඍජු ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් අසට (නො කපටි) ද? මේ චිත්ත ගැහැවි කෙතෙක් රැවටිලි රහිත ද? යමෙක් විතර්ක විචාර නිරුද්ධ කටයුතු ය යි හඟනේ නම් හේ දැලින් සුළං බැඳිය යුතු ය යි හඟනේ ය. යමෙක් විතර්ක විචාර නිරුද්ධ කටයුතු ය යි හඟනේ නම් හේ සිය මිටින් ගඞ්ගානදී සැඩපහර වැළැක්විය යුතු ය යි හඟනේ යි.
හිමියනි, ඒ කිමැ? යි හඟිවු ද? කුමක් වඩා ප්රණීත ද? නැණ හෝ සැදැහැ හෝ යි. ගැහැවි, සැදැහැයට වඩා නැණ ම ප්රණීත ය.
හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් (ඒතාක්) කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් ඒතාක් විතර්ක විචාර සන්හිඳීමෙන් ... දෙවැනි දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමැත්තෙම් නම් ඒතාක් ප්රීතියත් වැළැක්මෙන් ... තෙවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි,මම යම්තාක් කැමැත්තෙම් නම් ඒ තාක් සුවත් ප්රහීණ කිරීමෙන් දුකත් ප්රහීණ කිරීමෙන් කැලැම සොම්නසුත් දුරු කිරීමෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසිදු බව ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙමි. හිමියනි, ඒ මම මෙසේ දන්නෙම් මෙසේ දක්නෙම් “අවිතර්ක අවිචාර සමාධියෙක් ඇත. විතර්ක විචාරයන්ගේ නිරෝධයෙක් ඇතැ” යි අන් කවර මහණකුගේ හෝ බමුණකුගේ හෝ ඇදහීමට යන්නෙම් ද?
මෙසේ කී කල්හි නිගණ්ඨනාතපුත්ත සිය පිරිස දෙස බලා මෙය කී ය: භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි වඞ්කත් වේ ද, චිත්ත ගැහැවි කොතරම් සඨත්(කපටත්) වේ ද, මේ චිත්ත ගැහැවි කොතරම් රැවටිලි ඇත්තේත් වේ දැ යි. හිමියනි, “භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි කොතෙක් ඍජුත් වේ ද, චිත්ත ගැහැවි කොතෙක් අසඨත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් රැවටිලි නැත්තේත් වේ දැ” යි. ඔබ විසින් දැන් ම කියන ලද්ද අපි මෙසේ දනිමු. හිමියනි, “භවත්හු මෙය දකිත්වා, මේ චිත්ත ගැහැවි කොතෙක් වඞ්කත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් සඨත් වේ ද, මේ චිත්ත ගැහැවි කොතෙක් රැවටිලි ඇත්තේත් වේ දැ” යි. ඔබ විසින් දැන්ම කියන ලද්ද අපි මෙසේ දනිමු. හිමියනි, ඉදින් ඔබ විසින් පළමු කියන ලද්ද සැබෑ නම් ඔබ විසින් පසුව කියන ලද්ද මුසාය. හිමියනි, ඉදින් ඔබ විසින් පසුව කියන ලද්ද සැබෑ නම් ඔබ විසින් පළමු කියන ලද්ද මුසා ය.