7. චිත්ත සංයුත්තය
1. චිත්ත වර්‍ගය
7. 1. 1.
සංයෝජන සූත්‍රය
405. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩ වන ලැහැබෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩල මාලයේ (රැස්වීම් හලෙ) හි රැස් ව වැඩහුන් ස්ථවිර භික්‍ෂූන් අතර මේ අතුරු කථාව පහළ විය: ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු දැ? යි.
එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි. ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලද්දේ වෙයි.
එසමයෙහි චිත්ත ගැහැවි කිසියම් කටයුත්තක් නිමිති කොට මිගපථක ගමට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩහුන් ස්ථවිර භික්‍ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙද්ද, නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි. මේ අතුරු කථාව පහළ වී ය” යි ද එහි ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇසුයේ ම ය. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස්ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය:
“වහන්ස, පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව වැඩ හුන් ස්ථවිර භික්‍ෂූන් අතර “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද? නැතහොත් එක ම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි, මේ අතුරු කථාව පහළ වී ය” යි ද ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු ද වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද, ඇතැම් ස්ථවිර භික්‍ෂූන් විසින් “ඇවැත්නි, සංයෝජන ය යි හෝ සංයෝජනීය ධර්‍මයෝ ය යි හෝ මේ දහම්හු එකම අර්‍ත්‍ථ ඇත්තාහු ව්‍යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙති” යි මෙසේ විසඳන ලදැ යි ද මා විසින් මෙය අසන ලද්දේ” යි. ගැහැවිය, එසේ ය යි.
“වහන්ස, සංයෝජන ය යි හෝ සංයෝජනිය ධර්‍මයෝ ය” යි හෝ මේ දහම්හු වෙනස් වෙනස් අර්‍ත්‍ථ ඇත්තාහු ද වෙනස් වෙනස් ව්‍යඤ්ජන ඇත්තාහු වෙති. වහන්ස, එසේ වී නම් මුඹ වහන්සේට උපමාවක් කරන්නෙමි. මෙහි ඇතැම් නුවණැති මිනිස්සු උපමාවෙන් ද දේශනාවේ අරුත දැන ගනිත්. වහන්ස, යම්සේ කළු ගොනෙකුත් සුදු ගොනෙකුත් එක් දමෙකින් හෝ එක් යොතෙකින් හෝ බඳනා ලද්දාහු වෙද්ද, කළු ගොන් සුදු ගොනුගේ බැඳුම ය. සුදු ගොන් කළු ගොනුගේ බැඳුම ය යි යමෙක් මෙසේ කියන්නේ නම් (ඒ) කියන්නා මැනවින් කියන්නේ දැ යි. ගැහැවි, මෙය නො වේ ම ය.
ගැහැවි, කළු ගොන් සුදු ගොනුගේ බැඳුම නොවේ. සුදු ගොන් කළුගොනුගේ බැඳුම නො ද වේ. යම් එක් දමෙකින් හෝ යොතෙකින් හෝ ඔහු බඳනා ලද්දාහු වෙත් නම් එය එහි සංයෝජන යි. වහන්ස, එසෙයින් ම ඇස රූපයනට සංයෝජන නො වේ. රූපයෝ ඇසට සංයෝජන නො වෙති. එහි දෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
කන සදට සංයෝජන නො වේ. සද කනට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. නැහැය ගඳට සංයෝජන නො වේ. ගඳ නැහැයට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. දිව රසට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. කය පහසට සංයෝජන නො වේ. පහස කයට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍ද රාගයෙක් උපදී නම් එහි සංයෝජන යි. සිත දහමට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්‍දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි. ගැහැවි, යම් බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී ද ඒ තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි යි.