7. 1. 9.
අචේල සූත්‍රය
413. එකල්හි චිත්ත ගැහැවිහුගේ පැරණි ගිහි යහළුවකු වූ අචේලකස්සප තෙමේ මච්ඡිකාසණ්ඩයට පැමිණියේ වෙයි. චිත්ත ගැහැවි අපගේ පැරණි ගිහි යහළුවකු වූ අචේලකස්සප මච්ඡිකාසණ්ඩයට පැමිණියේ ලැ යි ඇසී ය. ඉක්බිති චිත්තගැහැවි අචේලකස්සපයන් වෙත එළඹියේ ය. එළඹ අචේලකස්සපයන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්තගැහැවි අචේලකස්සපයනට “හිමියනි කස්සපයෙනි, පැවිදි ව කොතෙක් කල් ඇත්තහු දැ?” යි මෙය කී ය. “ගැහැවිය, පැවිදි වූ මට වස් තිසෙක් පමණ වේ” යි. “හිමියනි, මේ තිසක් පමණ වසින් ඔබ විසින් ලබන ලද මිනිස් දහමින් වැඩි අරිබව කිරීමෙහි සමත් නැණදසුන් වෙසෙසක් වූ කිසියම් පහසුවිහරණයෙක් ඇද්දැ?” යි. “ගැහැවි, මේ තිසක් පමණ වසින් මවිසින් මිනිස් දහමින් මතු ලබන ලද සෙලුබවත්, මුඩු බවත්, වැලි පිසීමට ගන්නා මොනරපිල් කලඹත් හැර අරීබව කිරීමෙහි සමත් නැණදසුන් වෙසෙසක් වූ කිසියම් පහසුවිහරණයෙක් නැතැ”යි.
මෙසේ කී කල්හි චිත්තගැහැවි අචේලකස්සපයනට මෙය කී ය: “යම් හෙයකින් තිසක් පමණ වසෙකින් සෙලුබවත්, මුඩුබවත්, වැලි පිසීමට ගන්නා මොනරපිල් කලඹත් හැර මිනිස් දහමින් මත්තෙහි වූ පහසුවිහරණ වූ අරීබව කිරීමෙහි සමත් කිසියම් නැණදසුන් වෙසෙසක් නො ලද්දේ වී නම්, පින්වත, දහම්හි ස්වාඛ්‍යාතබව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයෙකි”යි.
“ගැහැවි, උවසු බවට පැමිණි තොපට කෙතෙක් කල් දැ?”යි. හිමියනි, උවසු බවට පැමිණි මට ද තිසෙක් පමණ වසැ යි.” “ගැහැවි, මේ තිසෙක් පමණ වසින් මිනිස්දහමින් වැඩි පහසුවිහරණ වූ අරී බව කිරීමෙහි සමත් කිසියම් නැණදසුන් වෙසෙසක් ලබන ලද දැ?” යි. “හිමියනි, කිම නො වන්නේ ද? හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම්, ඒ තාක් කාමයන්ගෙන් වෙන් ව ම අකුශල ධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමු වන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම් ඒ තාක් විතර්‍ක විචාර සන්හිඳීමෙන් .... දෙවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම්තාක් කැමති වෙම් නම් ඒ තාක් ප්‍රීතියත් වැළැක් වීමෙන් .... තෙවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, මම යම් තාක් කැමති වෙම් නම් ඒ තාක් සුවත් පැහීමෙන් .... සිවුවන දැහැනට එළඹ වෙසෙමි. හිමියනි, ඉදින් මම භාග්‍යවතුන් වහන්සේට පළමුකොට කලුරිය කරන්නෙම් නම් ‘යම් සංයෝජනයකින් යෙදුනු චිත්ත ගැහැවි තෙමේ යලි මෙලොවට එන්නේ ද එබඳු සංයෝජනයෙක් නැතැ’ යි භාග්‍යවතුන් වහන්සේ මා ගැන යමක් මෙසේ වදාරන්නාහු නම් මේ පුදුමයෙක් නො වේ මැ” යි.
මෙසේ කී කල්හි අචේලකස්සප තෙමේ චිත්ත ගැහැවිහට මෙය කී ය: “යම් හෙයකින් සුදුවත් හැඳගත් ගිහියෝ මිනිස්දහමින් වැඩි පහසු විහරණ වූ අරීබව කිරීමෙහි සමත් මෙබඳු නැණදසුන් වෙසෙසක් ලැබුවාහු නම් පින්වත, දහම්හි ස්වාඛ්‍යාත බව ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයෙකි. ගැහැවි, මම මෙසස්නෙහි පැවිද්ද ලබන්නෙමි. උපසපුව ලබන්නෙමි” යි.
ඉක්බිති චිත්ත ගැහැවි තෙමේ අචේලකස්සපන් රැගෙන ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය: වහන්ස, මේ අචේලකස්සප තෙමේ අපගේ පැරණි ගිහි යහළුවෙකි. තෙරහු මොහු පැවිදි කෙරෙත්වා. උපසපන් කෙරෙත්වා. මම මොහුට සිවුරු පිඬු සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිබඳ ව උත්සාහ කරන්නෙමි යි.
අචේලකස්සප තෙමේ මෙසසුනෙහි පැවිද්ද ලදි. උපසපුව ලදී. උපසපන් වූ නො බෝකල් ඇති ආයුෂ්මත් කස්සප තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නේ නො බෝකලකින් ම කුලපුත්තු යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුතුරු වූ බඹසර කෙළවර වූ ඒ රහත් බව දිටුදැමියෙහි ම තෙමේ ම වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ඉපැද්ම ගෙවුණි. බඹසර වැස නිමවන ලදී. රහත්බව පිණිස කටයුතු කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගත්තේ ය. ආයුෂ්මත් කස්සප තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූ හ යි.