7. 1. 7.
ගෝදත්ත සූත්රය
411. එක්කලෙක ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවන් වැඳ එකත්පස්ව හුන්නේය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවිහට ආයුෂ්මත් ගෝදත්ත තෙරණුවෝ මෙය වදාළහ:
ගැහැවි, යම් මේ අප්පමාණ චේතෝවිමුක්තියෙකුත් යම් ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තියෙකුත් යම් සුඤ්ඤත චේතෝවිමුක්තියෙකුත් වේ නම් මේ දහම්හු නොයෙක් නොයෙක් අර්ත්ථ ඇත්තාහුත් නොයෙක් නොයෙක් ව්යඤ්ජන ඇත්තාහුත් වෙත් ද? නැතහොත් එකම අර්ත්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් දැ? යි.
වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්ත්ථ ඇත්තාහුත් නානා ව්යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් එබඳු නයෙක් ඇත. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු එකම අර්ත්ථ ඇත්තාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් එබඳු නයකුත් ඇත.
වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්ත්ථ ඇත්තාහුත් නානා ව්යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් ඒ නය කවරේ ද යත්:
වහන්ස, මෙහි මහණුන් වහන්සේ මෛත්රීසහගත සිතින් එක් දිගක් පැතිරගෙන වෙසෙති. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්වාත්මභාවයෙන් සියල්ලෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය අපමණ වූ නිදොස් වූ නිදුක් වූ මෙත් සහගිය සිතින් පතුරුවා වෙසෙති. කුළුණු සහගිය සිතින් … මුදිතා සහගත සිතින් …මැදහත් බැවු සහගිය සිතින් එක් දිගක් පැතිරගෙන වෙසෙති. දෙවන දිග ද එසේ ය. තෙවන දිග ද එසේ ය. සිවුවන දිග ද එසේ ය. මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්වාත්මභාවයෙන් සියල්ලෙන් යුත් ලොව පැතුරුණු මහත් බවට ගිය අපමණ වූ නිදොස් වූ නිදුක් වූ මැදහත් වූ උපේක්ෂා සහගිය සිතින් පතුරුවා වෙසෙති. වහන්ස, මේ අප්පමාණ චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
වහන්ස, ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තිය කවර යත්:
වහන්ස, මේ මහණුන් වහන්සේ සර්ව ප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙති. වහන්ස, මේ ආකිඤ්චඤ්ඤ චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
වහන්ස, සුඤ්ඤත චේතෝවිමුක්තිය කවර යත්:
වහන්ස, මෙහි මහණුන් වහන්සේ අරණකට ගියාහු හෝ රුක් මුලකට ගියාහු හෝ හිස් ගෙයකට ගියාහු හෝ මෙය තමාගෙන් හෝ තමා සතු දැයකින් හිස් යයි මෙසේ නුවණින් සලකා බලති. වහන්ස, මේ සුඤ්ඤත චේතෝවිමුක්තිය යි කියනු ලැබේ.
වහන්ස, අනිමිත්ත චේතෝවිමුක්තිය කවර යත්:
වහන්ස, මෙහි මහණුන් වහන්සේ සියලු නිමිති නොමෙනෙහි කිරීමෙන් නිමිති රහිත චේතෝ සමාධියට පැමිණ වෙසෙති. වහන්ස, මේ අනිමිත්ත චේතෝවිමුක්තිය යි කියනු ලැබේ. වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු නානා අර්ත්ථ ඇත්තාහුත් නානා ව්යඤ්ජන ඇත්තාහුත් වෙත් නම් මේ ඒ නය යි.
වහන්ස, යම් නයකට පැමිණ මේ දහම්හු ඒකාර්ත්ථ වූවාහු ව්යඤ්ජන පමණක් වෙනස් වූවාහු වෙත් නම් ඒ නය කවරේ ද යත්: