7. 1. 6.
දුතිය කාමභූ සූත්රය
410. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත … එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙය කී ය: වහන්ස, “සඞ්ඛාර කෙතෙක් දැ?” යි. ගැහැවිය, සඞ්ඛාර තුනෙකි. කාය සඞ්ඛාර ය, වචී සඞ්ඛාර ය, චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුණුවන්ගේ වචනය පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරුන් මතු දැක්වෙන පැනය පුළුවුත. වහන්ස, කාය සඞ්ඛාර කවරේ ද? වචී සඞ්ඛාර කවරේ ද? චිත්ත සඞ්ඛාර කවරේ ද? යි. ගැහැවි, ආස්වාස, ප්රස්වාස කාය සඞ්ඛාර ය. විතර්ක, විචාර වචී සඞ්ඛාර ය. සංඥාත්, වේදනාත් චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මතු දැක්වෙන පැනය පුළුවුත.
වහන්ස, කුමක් හෙයින් ආස්වාස ප්රස්වාස කාය සඞ්ඛාර වේ ද? කුමක් හෙයින් විතර්ක විචාර වචී සඞ්ඛාර වේ ද? කුමක් හෙයින් සංඥාත් වේදනාත් චිත්ත සඞ්ඛාර වේ දැ? යි. ගැහැවිය, ආස්වාස ප්රස්වාස කායික ය. මේ දහම්හු කය පිළිබඳහ. එහෙයින් ආස්වාස ප්රස්වාස කාය සඞ්ඛාර වේ. ගැහැවි, පළමු තර්කණය කොට විචාරණය කොට පසුව වාග් භේදය කරයි. එහෙයින් විතර්ක විචාර වචී සඞ්ඛාර වේ. සංඥාත් වේදනාත් චෛතසිකයහ. මේ දහම්හු සිත පිළිබඳහ. එහෙයින් සංඥාත් වේදනාත් චිත්ත සඞ්ඛාර වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි ද පැනයක් පුළුවුත.
වහන්ස, කෙසේ නම් සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය වේ දැ?යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවදනා මහණහුට මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියට සමවදින්නෙමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදිමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනිමි යි හෝ මෙබඳු සිතෙක් නො වේ. වැලිදු යම් සිතක් ඔහු ඒ බැව් පිණිස පමුණුවා නම් එසේ පළමු ම ඔහුගේ සිත වඩන ලද්දේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
වහන්ස, සඤ්ඤාවේදයිතනිරෝධයට සමවදනා මහණුන් වහන්සේගේ කවර දහම්හු පළමු නිරුද්ධ වෙද්ද? ඉදින් කායසඞ්ඛාර හෝ ඉදින් වචීසඞ්ඛාර හෝ ඉදින් චිත්තසඞ්ඛාර හෝ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිත නිරෝධයට සමවදනා මහණහුගේ වචීසඞ්ඛාර පළමු නිරුද්ධ වේ. ඉන් පසු කායසඞ්ඛාර ද ඉන් පසු චිත්තසඞ්ඛාර ද නිරුද්ධ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි පැනයක් පුළුවුත.
වහන්ස, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද යම් මේ මහණ කෙනෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්හු ද මොවුන්ගේ වෙනස කිමෙක් දැ?යි. ගැහැවි, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද ඔහුගේ කායසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. වචීසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. චිත්තසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. ආයු පිරිහුණේ උණුසුම සන්හිනි, ඉඳුරෝ නටහ. ගැහැවි, යම් මහණෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනි ද ඔහුගේත් කායසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. වචීසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. චිත්තසඞ්ඛාර නිරුද්ධ ය, සන්හිනි. ආයු නො පිරිහින, උණුසුම නො සන්හිනි, ඉඳුරෝ වෙසෙසින් පහන් හ. ගැහැවි, මේ යමෙක් මළේ ද කලුරිය කෙළේ ද යම් මේ මහණෙකුත් සඤ්ඤාවේදයිතනිරෝධයට සමවනි ද මේ ඔවුන්ගේ වෙනස යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි තෙමේ … මතු පැන පිළිවිසී ය.
වහන්ස, කෙසේ නම් සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටීම වේ දැ? යි. ගැහැවි, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටින මහණහුට මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටින්නෙමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටිමි යි හෝ මම සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැගී සිටියෙමි යි හෝ මෙබඳු සිතෙක් නො වෙයි. වැලිදු යම් සිතක් ඒ බව පිණිස ඔහු පමුණුවා නම් එසේ ඔහුගේ සිත පළමු මැ වඩන ලද්දේ වේ යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මත්තෙහි ද පැනයක් පුළුවුත.