7. 1. 5.
කාමභූ සූත්රය
409. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කාමභූ තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි හට ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මෙය වදාළහ: ගැහැවිය, මෙය වදාරන ලද්දේය:
“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
ගැහැවිය, සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් කෙසේ දත යුතු දැ?යි. වහන්ස, කිමෙක් ද? මෙය භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ?යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, එසේ වී නම් යම් තාක් මෙහි අරුත පිරික්ෂා බලම් ද, ඒ තාක් මොහොතක් පොරොත්තු වනු මැනවැ යි. ඉක්බිති චිත්ත ගැහැවි මොහොතක් නිහඬ ව ආයුෂ්මත් කාමභූ තෙරණුවන්ට මෙය කීය:
වහන්ස, “නෙලඞ්ග” යනු සීලයට මේ නමෙකි. වහන්ස, “සේතපච්ඡාද” යනු විමුක්තියට මේ නමෙකි. වහන්ස, “ඒකාර” යනු සිහියට මේ නමෙකි. වහන්ස, “වත්තති” යනු ඉදිරි ගමනට හා පසුගමනට මේ නමෙකි. වහන්ස, “රථ” යනු මව්පියන්ගෙන් උපන් බත් කොමු පිඬු වලින් වැඩුනු නිතර ඉලීම් පිරිමැදීම් කෙරෙතු දු බිඳෙන වැනසෙන ස්වභාව ඇති සතර මහා භූතයන්ගෙන් හටගත් මේ කයට මේ නමෙකි. වහන්ස, රාගය නීඝයෙකි, දෝසය නීඝයෙකි, මෝහය නීඝයෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. නැවත නො හටගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. එහෙයින් රහත් මහණහු අනීඝ යයි කියනු ලැබෙත්. වහන්ස, “ආයන්ත” යනු රහතුන් වහන්සේට මේ නමෙකි. වහන්ස, “සෝත” යනු තෘෂ්ණාවට මේ නමෙකි. රහත් මහණුන් වහන්සේ විසින් එය ප්රහීණ ය. උසුන් මුල් ඇතියේ ය. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලද්දේ ය. යළි නොහට ගන්නා බව කරන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. එහෙයින් රහත් මහණහු “ඡින්න සෝතය” යි කියනු ලැබෙත්. වහන්ස, රාගය බැඳුමෙකි. දෝසය බැඳුමෙකි. මෝහය බැඳුමෙකි. රහත් මහණුන් වහන්සේ විසින් ඔහු ප්රහීණයහ. උසුන් මුල් ඇතියහ. හිස් සුන් තල් ගසක් මෙන් කරන ලදහ. යළි නො හට ගන්නා බව කරන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. එහෙයින් රහත් මහණහු “අබන්ධනය” යි කියනු ලැබෙති යි. වහන්ස මෙසේ භාග්යවතුන් වහන්සේ විසින් ඒ යමක් වදාරන ලද්දේ ද:
“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
වහන්ස, භාග්යවතුන් වයන්සේ විසින් සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් මම මෙසේ දනිමි යි. ගැහැවිය, යම් බඳු තොපගේ පැනැස ගැඹුරු බුදු වදනෙහි පවතී ද, ගැහැවිය, ඒ තොපට ඒකාන්තයෙන් ලාභයෙකි. තොපට මනා ලැබීමෙකි යි.
7. 1. 6.
දුතිය කාමභූ සූත්රය
410. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත … එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුන්ට මෙය කී ය: වහන්ස, “සඞ්ඛාර කෙතෙක් දැ?” යි. ගැහැවිය, සඞ්ඛාර තුනෙකි. කාය සඞ්ඛාර ය, වචී සඞ්ඛාර ය, චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි ආයුෂ්මත් කාමභූ තෙරුණුවන්ගේ වචනය පිළිගෙන අනුමෝදන් ව ආයුෂ්මත් කාමභූ තෙරුන් මතු දැක්වෙන පැනය පුළුවුත. වහන්ස, කාය සඞ්ඛාර කවරේ ද? වචී සඞ්ඛාර කවරේ ද? චිත්ත සඞ්ඛාර කවරේ ද? යි. ගැහැවි, ආස්වාස, ප්රස්වාස කාය සඞ්ඛාර ය. විතර්ක, විචාර වචී සඞ්ඛාර ය. සංඥාත්, වේදනාත් චිත්ත සඞ්ඛාර යි. මැනව වහන්සැ යි චිත්ත ගැහැවි … මතු දැක්වෙන පැනය පුළුවුත.