7. 1. 4.
මහක සූත්‍රය
408. එක්කලෙක බොහෝ වූ තෙර මහණහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ තෙර මහණුන් වෙත එළඹියේය. එළඹ තෙර මහණුන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි තෙර මහණුන්ට මෙය කීය: වහන්ස, තෙරහු සෙට දවස පිණිස වූ මාගේ ගෝකුලයෙහි බත ඉවසත්වා යි. තෙර මහණහු නිහඬබැවින් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි තෙර මහණුන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී තෙර මහණහු වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති තෙර මහණහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ ගෝකුලය වෙත එළඹියහ. එළඹ පැන වූ අසුන්හි හිඳගත්හ. එකල්හි චිත්ත ගැහැවි තෙර මහණුන් ප්‍රණීත වූ ගිතෙල්මුසු කිරිබතින් සියතින් සැතැප්පී ය. මැනවින් පැවරීය. ඉක්බිති තෙර මහණහු වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ. චිත්ත ගැහැවි තෙමේ ද සෙස්ස බැහැර කරවයි කියා තෙර මහණුන් පසු පස අනු ගමන් කෙළේය.
එසමයෙහි කැකෑරෙන උණුසුම වෙයි. ඒ තෙර මහණහු ද මිහිරි බොජුන් වැළඳූවන් සේ පැසෙන හැකිළෙන කයින් යුතු ව මෙන් යෙති. එකල්හි ආයුෂ්මත් මහක තෙරණුවෝ ඒ බික් සඟන අතර සියල්ලන්ට නවක වෙති. එකල ආයුෂ්මත් මහක තෙරණුවෝ ආයුෂ්මත් තෙරුන්ට මෙය කීහ: වහන්ස, තෙරණුවනි, “යම් හෙයකින් සිහිල් සුළඟ හමන්නේ නම් වලාකුළු පාවීමෙකුත් වන්නේ නම් වැස්සත් එක එක පොද හෙලන්නේ වී නම් යහපත් වන්නේ දැ?” යි. ඇවැත්නි, මහකයෙනි, යම් හෙයකින් සිහිල් සුළඟ හමන්නේ නම් වලාකුළු පාවීමෙකුත් වන්නේ නම් වැස්සත් එක එක පොද හෙලන්නේ වී නම් යහපතැ යි. එකල්හි ආයුෂ්මත් මහක තෙමේ යම් සේ සිහිල් සුළඟත් හැමී ද වලාකුළු පාවීමත් වී ද වැස්සත් එක එක පොද හෙළී ද එබඳු ඍද්ධියක් කෙළේ ය.
එකල්හි චිත්ත ගැහැවිහට මෙබඳු සිතෙක් විය: “මේ බික් සඟන අතර සියල්ලන්ට නවක වූ යම් මහක කෙනෙක් වෙත් නම් මෙබඳු ඍද්ධ්‍යානුභාවය උන්වහන්‍සේගේ ය”යි. ඉක්බිති ආයුෂ්මත් මහක අරමට පැමිණ ආයුෂ්මත් තෙරණුවන්ට “වහන්ස, තෙරණුවනි, මෙතෙකින් පමණ දැ?” යි මෙය කීය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් පමණ ය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් කරන ලද්දේ ය. ඇවැත්නි මහකයෙනි, මෙතෙකින් පුදන ලද්දේ යයි. ඉන් පසු තෙර මහණහු සිය සිය වෙහෙරට ගියහ. ආයුෂ්මත් මහක ද සිය වෙහෙරට ගියේය.
ඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් මහක වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහකයන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් මහකට මෙය කී ය: වහන්ස, “මහක ආර්‍ය්‍යයන් වහන්සේ මට උතුරු මිනිස් දමින් ඉදු පෙළහරක් දක්වන සේක්වා” යි. ගැහැවි, එසේ වී නම් තෙපි පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරුව යි. වහන්ස, එසේ යයි චිත්ත ගැහැවි ආයුෂ්මත් මහකහට පිළිතුරු දී පිලෙහි උතුරු සළුව අතුරා තණ මිටියක් විසුරු වී ය.
ඉක්බිති ආයුෂ්මත් මහක වෙහෙරට පිවිස යතුරු අගුළ දමා යම් සේ කෙසි සිදුරෙන් ද අගුළ අතරින් ද ගිනිදලු නික්ම තණකොළ දැවී ද, උතුරු සළුව නො දැවී ද එබඳු ඍද්ධියක් කෙළේ ය. එකල්හි චිත්ත ගැහැවි උතුරු සළුව පොළා සංවේගයට පැමිණියේ හටගත් ලොමු දහගැනුම් ඇත්තේ එකත්පස්ව සිටියේ ය. එවිට ආයුෂ්මත් මහක වෙහෙරින් නික්ම චිත්ත ගැහැවි හට ගැහැවි, මෙතෙකින් පමණ දැ?යි මෙය කීය. වහන්ස මහකයෙනි, මෙතෙකින් පමණ ය. වහන්ස මහකයෙනි, මෙතෙකින් කරන ලද්දේ ය. වහන්ස මහකයෙනි, මෙතෙකින් පුදන ලද්දේ ය. වහන්ස මහක ආර්‍ය්‍යයන් වහන්සේ මච්ඡිකාසණ්ඩයෙහි සිත් අලවා වෙසෙන සේක්වා, අම්බාටක වනය සිත්කලු ය, මම මහක ආර්‍ය්‍යයන් වහන්සේට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත් පිරිකර පිළිබඳ ව උත්සාහ කරන්නෙමි යි. ගැහැවිය යහපතෙක් කියනු ලැබේ යි. එකල්හි ආයුෂ්මත් මහක සෙනසුන සකසා තබා පා සිවුරු ගෙන මච්ඡිකාසණ්ඩයෙන් නික්ම ගියේය. යම් සේ මච්ඡිකාසණ්ඩයෙන් ගියේ ද එසේ ගියේ ම විය. යළි පෙරළා නො ආයේ යි.
7. 1. 5.
කාමභූ සූත්‍රය
409. එක්කලෙක ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් කාමභූ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කාමභූ තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි හට ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ මෙය වදාළහ: ගැහැවිය, මෙය වදාරන ලද්දේය:
“නිදොස් වූ සුදු වැස්මක් ඇති එක් දැවියක් ඇති රියක් තිබේ. දුක් නැති සුන් සැඩ පහර ඇති බැඳුම් රහිත එන්නහු බලව” යි.
ගැහැවිය, සැකෙවින් වදාළ මේ දේශනාවේ අරුත විතර විසින් කෙසේ දත යුතු දැ?යි. වහන්ස, කිමෙක් ද? මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ?යි. ගැහැවිය, එසේ යයි. වහන්ස, එසේ වී නම් යම් තාක් මෙහි අරුත පිරික්‍ෂා බලම් ද, ඒ තාක් මොහොතක් පොරොත්තු වනු මැනවැ යි. ඉක්බිති චිත්ත ගැහැවි මොහොතක් නිහඬ ව ආයුෂ්මත් කාමභූ තෙරණුවන්ට මෙය කීය: