7. 1. 3.
දුතිය ඉසිදත්ත සූත්රය
407. එක් කලෙක බොහෝ ස්ථවිර භික්ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්ෂූන් වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්ෂූන්ට මෙය කී ය: වහන්ස, තෙරහු හෙට පිණිස වූ මාගේ බත ඉවසත්වා යි. ස්ථවිර භික්ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී ස්ථවිර භික්ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති ස්ථවිර භික්ෂූහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවෙස්නට එළඹියහ. එළඹ පැනවූ අසුන්හි හුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්ෂූන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
වහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එ ම ජීව ය එ ය ම ශරීර ය යි හෝ ජීවය අනිකෙක ශරීරය අනිකකැ යි හෝ සත්ත්වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්වයා මරණින් මතු වෙයි නො ද වේ ය යි හෝ සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්රහ්මජාල සූත්රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ?යි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවනුවට දු චිත්ත ගැහැවි තෙමේ … තෙවනුවට දු චිත්ත ගැහැවි තෙමේ ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එය ම ජීව ය එය ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්වයා මරණින් මතු නො වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු වෙයි නො ද වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු නූපදිද් ද? යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්රහ්මජාල සූත්රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ? යි. තෙවනුවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
එසමයෙහි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ඒ බික්සඟන කෙරෙහි සියල්ලන්ට නවක වෙති. එකල්හි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ආයුෂ්මත් තෙරුන්ට මෙය කීහ: වහන්ස තෙරණුවනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය මම විසඳම් දැ? යි. ඇවැත්නි ඉසිදත්තයෙනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය තෙපි විසඳව යි. ගැහැවි, තෙපි “වහන්ස තෙරණුවනි, ලෝකය ශාස්වත යයි හෝ … යම් මේ නන් වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද? වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙත් දැ?යි මෙසේ විචාරවු දැයි. වහන්ස එසේ ය.
ගැහැවිය, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් යයි හෝ ලෝකය අන්ත රහිතය යි හෝ එ ම ජීව ය එ ම ශරීර ය යි හෝ ජීවය අනෙකෙක, ශරීරය අනෙකෙකැ යි සත්ත්වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්වයා මරණින් මතු වෙයි නො ද වේ යයි හෝ සත්ත්වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්රහ්මජාල සූත්රයෙහි වදාරන ලද්දාහු ද, ගැහැවිය, මේ දිටුහු සක්කාය දිට්ඨිය ඇති කල්හි වෙත්, සක්කාය දිට්ඨිය නැති කල්හි නො වෙති යි.
වහන්ස, සක්කාය දිට්ඨිය කෙසේ වේ දැ? යි. ගැහැවිය, මෙහි ආර්ය්යයන් නො දක්නාසුලු ආර්ය්යධර්මයෙහි අදක්ෂ වූ ආර්ය්යධර්මයෙහි නො හික්මුණු සත්පුරුෂයන් නො දක්නාසුලු සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ වූ සත්පුරුෂ ධර්මයෙහි නො හික්මුනු අශ්රැතවත් පෘථග්ජන තෙමේ රූපය ආත්මය යි හෝ ආත්මය රූපවත් යයි හෝ ආත්මයෙහි රූපය පවතී යයි හෝ රූපයෙහි ආත්මය පවතී යයි හෝ දකී. වේදනාව ආත්ම යයි හෝ … දකී. සංඥාව … සංස්කාර … විඥානය ආත්ම යයි හෝ ආත්මය විඥානවත් යයි හෝ ආත්මයෙහි විඥානය පවතී යයි හෝ විඥානයෙහි ආත්මය පවතී යයි හෝ දකී. ගැහැවිය, මෙසේ සක්කායදිට්ඨිය වේ යි.