7. 1. 2.
ඉසිදත්ත සූත්‍රය
406. එක්කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩ වෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත් පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට “වහන්ස, ස්ථවිර භික්‍ෂූහු සෙට පිණිස මාගේ බත ඉවසත්වා” යි මෙය කී ය. ස්ථවිර භික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට ස්ථවිර භික්‍ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ රැය ගෙවීමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවස වෙත එළඹියහ. එළඹ පැන වූ අසුන්හි වැඩහුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පස්ව හුන්නේ ය. එකත්පස් ව හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍ව ය ධාතුනානාත්‍ව ය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. මෙසේ කී කල්හි ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. දෙවනවට දු චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. දෙවනවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ. තෙවනවට දු චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, කොපමණකින් ධාතුනානාත්‍වය භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ දැ? යි. තෙවනවට දු ආයුෂ්මත් තෙරණුවෝ නිශ්ශබ්ද වූහ.
එසමයෙහි ආයුෂ්මත් ඉසිදත්ත තෙරණුවෝ ඒ බික්සඟන අතර සියල්ලන්ට නවක වෙති. ඉක්බිති ආයුෂ්මත් ඉසිදත්ත ආයුෂ්මත් තෙරුනට මෙය කී ය: වහන්ස, තෙරණුවනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය මම විසඳම් දැ? යි. ඇවැත්නි, ඉසිදත්තයෙනි, චිත්ත ගැහැවිහුගේ මේ පැනය තෙපි විසඳව යි.
ගැහැවි, තෙපි “වහන්ස තෙරණුවනි, ධාතුනානාත්‍වය ධාතුනානාත්‍වය යි කියනු ලැබේ. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් කෙතෙකින් ධාතුනානාත්‍වය වදාරන ලද්දේ දැ” යි මෙසේ විචාරවු දැ? යි. වහන්ස, එසේ ය. ගැහැවි, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ ධාතුනානාත්‍වය වදාරන ලදි. චක්ඛුධාතු ය රූපධාතු ය චක්ඛුවිඤ්ඤාණධාතු ය, සොතධාතු ය සද්දධාතු ය සෝතවිඤ්ඤාණධාතු ය, ඝානධාතු ය ගන්‍ධධාතු ය ඝානවිඤ්ඤාණධාතු ය, ජිව්හාධාතු ය රසධාතු ය ජිව්හාවිඤ්ඤාණධාතු ය, කායධාතු ය ඵොට්ඨබ්බධාතු ය කායවිඤ්ඤාණධාතු ය, මනෝධාතු ය ධම්මධාතු ය මනෝවිඤ්ඤාණධාතු ය යි. ගැහැවි, භාග්‍යවතුන් වහන්සේ විසින් ධාතුනානාත්‍වය මෙතෙකින් වදාරන ලද්දේ ය යි.
ඉක්බිති චිත්ත ගැහැවි ආයුෂ්මත් ඉසිදත්ත තෙරුන්ගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව ස්ථවිර භික්‍ෂූන් ප්‍රණීත වූ කෑයුතු දැයින් ද සියතින් සැතැප්පී ය, මැනවින් පැවරී ය. ඉක්බිති ස්ථවිර භික්‍ෂූන් වැළඳුවාහු පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇත්තාහු හුනස්නෙන් නැඟී වැඩියහ. එකල්හි ආයුෂ්මත් තෙරණුවෝ ආයුෂ්මත් ඉසිදත්තහට මෙය කීහ: ඇවැත්නි, ඉසිදත්තයෙනි, මේ ප්‍රශ්නය තොපට මැනවින් වැටහුණේ ය. මේ ප්‍රශ්නය මට නො වැටහුණේ ය. ඇවැත්නි, ඉසිදත්තයෙනි, එසේ වී නම් යම් අන් කලෙක්හි දු මෙබඳු ප්‍රශ්නයක් එන්නේ නම් එහි ලා තොපටම වැටහෙන්නේ ය යි.
7. 1. 3.
දුතිය ඉසිදත්ත සූත්‍රය
407. එක් කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු මච්ඡිකාසණ්ඩයෙහි අම්බාටක වනයෙහි වැඩවෙසෙති. එකල්හි චිත්ත ගැහැවි තෙමේ ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත් පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ට මෙය කී ය: වහන්ස, තෙරහු හෙට පිණිස වූ මාගේ බත ඉවසත්වා යි. ස්ථවිර භික්‍ෂූහු නිශ්ශබ්ද භාවයෙන් ඉවසූහ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන්ගේ ඉවසීම දැන හුනස්නෙන් නැඟී ස්ථවිර භික්‍ෂූන් වැඳ පැදකුණු කොට ගියේ ය.
ඉක්බිති ස්ථවිර භික්‍ෂූහු ඒ රැය ඇවෑමෙන් පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන චිත්ත ගැහැවිහුගේ නිවෙස්නට එළඹියහ. එළඹ පැනවූ අසුන්හි හුන්හ. එකල්හි චිත්ත ගැහැවි ස්ථවිර භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ස්ථවිර භික්‍ෂූන් වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් චිත්ත ගැහැවි ආයුෂ්මත් තෙරුන්ට මෙය කීය:
වහන්ස තෙරණුවනි, “ලෝකය ශාස්වත ය යි හෝ ලෝකය අශාස්වත ය යි හෝ ලෝකය අන්තවත් ය යි හෝ ලෝකය අන්ත රහිත ය යි හෝ එ ම ජීව ය එ ය ම ශරීර ය යි හෝ ජීවය අනිකෙක ශරීරය අනිකකැ යි හෝ සත්ත්‍වයා මරණින් මතු වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු වෙයි නො ද වේ ය යි හෝ සත්ත්‍වයා මරණින් මතු නො ම වෙයි නො ම නො වේ” යයි හෝ යම් මේ නන්වැදෑරුම් දිටුහු ලොව උපදිද් ද, යම් මේ දෙසැට මිසදිටු කෙනෙකුත් බ්‍රහ්මජාල සූත්‍රයෙහි වදාරන ලද්දාහු ද, වහන්ස, මේ දිටුහු කුමක් ඇති කල්හි වෙත් ද? කුමක් නැති කල්හි නො වෙද්දැ?යි.