6. 1. 4.
උපේඛා සූත්‍රය
351. සිවුවන දැහැනය සිවුවන දැහැනය යි කියනු ලැබේ. සිවුවන දැහැන කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු මැ සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ නම් මෙය සිවුවන දැහැන ය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සුවත් දුරු කිරීමෙන් දුකත් දුරු කිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට උපේක්‍ෂාව සහගිය හැඟීම් හා මෙනෙහිකිරීම් පහළවෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, සිවුවන දැහැන නහමක් වරදව. සිවුවන දැහැනෙහි සිත තබව. සිවුවන දැහැනෙහි සිත එකඟ කරව. සිවුවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සුවත් දුරුකිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අභාවයෙන් දුක් නැති සුව නැති උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදු බැව් ඇති සිවුවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 5.
ආකාසානඤ්චායතන සූත්‍රය
352. ආකාසානඤ්චායතනය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ආකාසානඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට එළඹ වෙසේ නම් මෙය ආකාසානඤ්චායතනය යි කියනු ලැබේ. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට රූ සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, ආකාසානඤ්චායතනය නො වරදව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත මැනවින් තබව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත එකඟ කරව. ආකාසානඤ්චායතනය දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්‍වප්‍රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන් දුරු කිරීමෙන් නානාත්‍ව සංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.
6. 1. 6.
විඤ්ඤාණඤ්චායතන සූත්‍රය
353. විඤ්ඤාණඤ්චායතනය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ. විඤ්ඤාණඤ්චායතනය කවරේ දැ?යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණඤ්චායතනට පැමිණ වෙසේ නම් මෙය විඤ්ඤාණඤ්චායතනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ආකාසානඤ්චායතනය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, විඤ්ඤාණඤ්චායතනය නො වරදව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත මැනවින් තබව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත එකඟ කරව. විඤ්ඤාණඤ්චායතනයෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්ත ය යි විඤ්ඤාණ්ඤ්චායතනට පැමිණ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා ... මහාභිඥ බවට පැමිණියේ ය යි කියන්නේ යි.