6. මොග්ගල්ලාන සංයුත්තය
6. 1. 1.
සවිතක්ක සූත්රය
348. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එහි දී ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ “ඇවැත්නි මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. ‘ඇවැත්නි’ යි ඒ භික්ෂූහු ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන්ට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: ඇවැත්නි, මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්ත විතර්කයෙක් පහළ විය: “පළමුවන දැහැන පළමුවන දැහැනැ” යි කියනු ලැබේ. පළමුවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ නම් මේ පළමුවන දැහැනැ යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට කාමය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, පළමුවන දැහැන නහමක් වරදව. පළමුවන දැහැනෙහි සිත තබව. පළමුවන දැහැනෙහි සිත එකඟ කරව. පළමුවන දැහැනෙහි සිත පිහිටුව යි. මහණෙනි, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන්ව ම අකුශල ධර්මයන්ගෙන් වෙන්ව ම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්රීතිය හා සැපය ඇති පළමුවන දැහැනට එළඹ පසුවෙමි. ඇවැත්නි, ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ යයි මැනවින් කියන්නෙක් ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 2.
අවිතක්ක සූත්රය
349. දෙවන දැහැනය දෙවන දැහැනය යි කියනු ලැබේ. දෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ විතර්කවිචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම් ඇති එකඟබැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ නම් මෙය දෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම විතර්ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට විතර්කය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.
ඇවැත්නි, එකල්හි භාග්යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත එළඹ මෙය වදාළ සේක: මුගලන, මුගලන, බමුණ, දෙවන දැහැන නහමක් වරදව. දෙවන දැහැනෙහි සිත තබව. දෙවන දැහැනෙහි සිත එකඟ කරව. දෙවන දැහැනෙහි සිත පිහිටුව යි. ඇවැත්නි, ඒ මම පසු කාලයෙහි මම විතර්ක විචාර සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ විසුවෙමි. ඇවැත්නි, මැනවින් කියන්නෙක් “ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය”යි ඒ යමෙකු සඳහා කියන්නේ නම්, මැනවින් කියන්නෙක් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්රහ කරන ලද ශ්රාවකයෙක් මහාභිඥ බවට පැමිණියේ ය යි ඒ මා සඳහා කියන්නේ යි.
6. 1. 3.
සුඛ සූත්රය
350. තෙවන දැහැන තෙවන දැහැනය යි කියනු ලැබේ. තෙවන දැහැන කවරේ දැ? යි. ඇවැත්නි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ තෙමේ ප්රීතියත් දුරු කිරීමෙන් උපේක්ෂා ඇත්තේ වෙසෙයි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳියි. උපේක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ඒ යමෙකු සඳහා ආර්ය්යයෝ කියත් නම්, ඒ තෙවන දැහැනට එළඹ වෙසේ ද, මේ තෙවන දැහැනය යි කියනු ලැබේ යි. ඇවැත්නි, ඒ මම ප්රීතියත් දුරු කිරීමෙන් උපේක්ෂා ඇත්තේ වෙසෙමි. සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ කයින් සුවත් විඳිමි. උපේක්ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය, සුඛ විහරණ ඇත්තේ ය යි ආර්ය්යයෝ ඒ යමකු සඳහා කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසෙමි. ඇවැත්නි, මේ විහරණයෙන් වෙසෙන ඒ මට ප්රීතිය සහගිය හැඟීම් හා මෙනෙහි කිරීම් පහළ වෙත්.