6. 1. 10.
සක්ක සූත්‍රය
357. එක්කලෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවත සමීපයෙහි ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූවාහු තව්තිසා දෙවියන් අතර පහළ වූහ. එක්ලහි සක් දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ.
දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ දහම් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
6. 1. 11.
දුතිය සක්ක සූත්‍රය
358. ඉක්බිති සක් දෙව් රජ සසියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ සත්සියයක් දෙවියන් සමග ... සක් දෙව් රජ අටසියයක් දෙවියන් සමග ... ඉක්බිති සක් දෙව් රජ අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස්ව සිටි සක් දෙව් රජුට ආයුෂ්මත් මහ මුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. දේවානමින්‍ද, දහම් සරණ යෑම මැනවි ... දේවානමින්‍ද, සඟුන් සරණ යෑම මැනවි. දේවානමින්‍ද, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, බුදුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ බුදුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සෝභන ගති ඇති සුගති සගලොවට පැමිණෙත්. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, දහම් සරණ යෑම මැනවි ... නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, සඟුන් සරණ යෑම මැනවි. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, මෙසේ සඟුන් සරණ යෑම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
6. 1. 12.
තතිය සක්ක සූත්‍රය
359. ඉක්බිති සක්දෙව් රජ පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියේ ය. එකත්පස් ව සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ: දේවානමින්‍ද, බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මැනවි. ඒ භගවත්හු මෙකරුණෙනුදු අර්‍හත්හ, සම්මා සම්බුද්ධයහ, විජ්ජාචරණ සම්පන්නයහ, සුගතයහ, ලෝක විදූහ, අනුත්තර පුරිසදම්මසාරථීහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ යි. දේවානමින්‍ද, මෙසේ බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙත්.