2. 2. 4.
අගාර සූත්‍රය
262. මහණෙනි, යම්සේ ආගන්තුක ගෙයක් වේ ද, එහි පෙරදිගින් ද අවුත් වාසය කෙරෙති. පැළදිගින් ද අවුත් වාසය කෙරෙති. උතුරුදිගින් ද අවුත් වාසය කෙරෙති. දකුණුදිගින් ද අවුත් වාසය කෙරෙති. ක්‍ෂත්‍රියයෝත් අවුත් වාසය කෙරෙති. බ්‍රාහ්මණයෝත් අවුත් වාසය කෙරෙති. වෛශ්‍යයෝත් අවුත් වාසය කෙරෙති. ශුද්‍රයෝත් අවුත් වාසය කෙරෙති.
මහණෙනි, එසෙයින් ම මේ කයෙහි විවිධ වේදනාවෝ උපදිති: සුවවේදනාත් උපදිති. දුක්වේදනාත් උපදිති. මැදහත් වේදනාත් උපදිති. සාමිස සැපවේදනාත් උපදිති. නිරාමිස සුවවේදනාත් උපදිති. සාමිස දුක්වේදනාත් උපදිති. නිරාමිස දුක්වේදනාත් උපදිති. සාමිස මැදහත්වේදනාත් උපදිති. නිරාමිස මැදහත්වේදනාත් උපදිති යි.
2. 2. 5.
සන්තක සූත්‍රය
263. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාව කවරක් ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරේ ද? වේදනාවෙහි ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
ආනන්‍ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ආනන්‍ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනී පටිපදාව යි. එනම් - සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.
ආනන්‍ද, වැලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවාහු වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි. ආනන්‍ද, යලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ සන්හිඳීම පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. ... සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙති. රහත් මහණහුට රාගය සන්හුන්නේ වෙයි. දෝසය සන්හුන්නේ වෙයි. මෝහය සන්හුන්නේ වෙයි.
ආනන්‍ද, වැලිදු මා විසින් අනුපිළිවෙළින් සංස්කාරයන්ගේ පස්සද්ධිය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය සන්හුන්නේ වෙයි. දෙවන දැහැනට සමවන්නහුට විතර්‍කවිචාර සන්හුන්නේ වෙයි. තෙවන දැහැනට සමවන්නහුට ප්‍රීතිය සන්හුන්නේ වෙයි. සිවුවන දැහැනට සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස සන්හුන්නේ වෙයි. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා සන්හුන්නී වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥා සන්හුන්නී වේ. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා සන්හුන්නී වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා සන්හුන්නී වේ. සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් සන්හුන්නාහු වෙත්. රහත් මහණහුට රාගය සන්හුන්නේ වේ. දෝසය සන්හුන්නේ වේ. මෝහය සන්හුන්නේ වේ යි.
2. 2. 6.
දුතිය සන්තක සූත්‍රය
264. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ආනන්‍ද, වේදනාව කවරී ද? වේදනා සමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරී ද? වේදනාවේ ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. භගවත්හු නේතෘ කොට ඇතියහ. භගවත්හු පිළිසරණ කොට ඇතියහ. වහන්ස, මැනවි. මේ දේශනාවේ අරුත භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහ යි. ආනන්‍ද, එසේ වී නම් අසව. මැනවින් මෙනෙහි කරව. කියන්නෙමි යි. ‘එසේය වහන්සැ’යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.