2. 2. 2.
ආකාස සූත්‍රය
260. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් සුළං හමා ද, පෙරදිග සුළං ද හමයි. පැළදිග සුළං ද හමයි. උතුරුදිග සුළං ද හමයි. දකුණුදිග සුළං ද හමයි. දූලි සහිත සුළං ද හමයි. දූලි රහිත සුළං ද හමයි. සිහිල් සුළං ද හමයි. උණුසුම් සුළං ද හමයි. මඳ සුළං ද හමයි. අධික සුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුව වේදනාත් උපදිත්. දුක්වේදනා උපදිත්. මැදහත් වේදනා උපදිත්.
යම්සේ අහසෙහි නන්වැදෑරුම් වූ බොහෝ සුළං හමා ද පෙරදිගින් හමන්නා වූ ද පැළදිගින් හමන්නා වූ ද උතුරුදිගින් හමන්නා වූ ද යළි දකුණු දිගින් හමන්නා වූ ද,
දූලි සහිත වූ ද දූලි රහිත වූ ද සිසිල් වූ ද උණුසුම් වූ ද ඇතැම් දිනෙක අධික වූ ද මද වූ ද බොහෝ සුළං හමයි.
එසෙයින් ම කයෙහි සුවදුක් උපදවන්නා වූ ද මැදහත් වූ ද යම් වේදනාවක් වේ නම් ඒ වේදනාවෝ උපදිත්.
මහණ, යම් කලෙක කෙලෙස් තවන වෙර ඇත්තේ මනා දැනීම නො හරී ද, එකල්හි පණ්ඩිත වූ හෙතෙමේ සියලු වේදනා පිරිසිඳ දනී.
හේ වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ දහම්හි පිහිටියේ නිවනට පැමිණියේ කාබුන් මරණින් මතු (සත්ත්‍ව) සඞ්ඛ්‍යාවට නො පැමිණේ යි.
2. 2. 3.
දුතිය ආකාස සූත්‍රය
261. මහණෙනි, යම්සේ අහසෙහි නන්වැදෑරුම් හුළං හමා ද, පෙරදිග හුළං ද හමයි. ... අධික හුළං ද හමයි. මහණෙනි, එසෙයින් ම මේ සිරුරෙහි නන්වැදෑරුම් වේදනා උපදිත්. සුවවේදනාත් උපදිත්. දුක්වේදනාත් උපදිත්. මැදහත්වේදනාත් උපදිත් යි.
2. 2. 4.
අගාර සූත්‍රය
262. මහණෙනි, යම්සේ ආගන්තුක ගෙයක් වේ ද, එහි පෙරදිගින් ද අවුත් වාසය කෙරෙති. පැළදිගින් ද අවුත් වාසය කෙරෙති. උතුරුදිගින් ද අවුත් වාසය කෙරෙති. දකුණුදිගින් ද අවුත් වාසය කෙරෙති. ක්‍ෂත්‍රියයෝත් අවුත් වාසය කෙරෙති. බ්‍රාහ්මණයෝත් අවුත් වාසය කෙරෙති. වෛශ්‍යයෝත් අවුත් වාසය කෙරෙති. ශුද්‍රයෝත් අවුත් වාසය කෙරෙති.
මහණෙනි, එසෙයින් ම මේ කයෙහි විවිධ වේදනාවෝ උපදිති: සුවවේදනාත් උපදිති. දුක්වේදනාත් උපදිති. මැදහත් වේදනාත් උපදිති. සාමිස සැපවේදනාත් උපදිති. නිරාමිස සුවවේදනාත් උපදිති. සාමිස දුක්වේදනාත් උපදිති. නිරාමිස දුක්වේදනාත් උපදිති. සාමිස මැදහත්වේදනාත් උපදිති. නිරාමිස මැදහත්වේදනාත් උපදිති යි.
2. 2. 5.
සන්තක සූත්‍රය
263. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, වේදනාව කවරක් ද? වේදනාසමුදය කවරේ ද? වේදනානිරෝධය කවරේ ද? වේදනානිරෝධගාමිනී පටිපදාව කවරේ ද? වේදනාවෙහි ආස්වාදය කවරේ ද? ආදීනවය කවරේ ද? නිස්සරණය කවරේ දැ? යි.
ආනන්‍ද, මේ වේදනා තුනෙකි: සුවවේදනා ය, දුක්වේදනා ය, මැදහත්වේදනා යි. ආනන්‍ද, මොහු වේදනා යයි කියනු ලැබෙත්. ඵස්සසමුදයෙන් වේදනාසමුදයය වේ. ඵස්සනිරෝධයෙන් වේදනානිරෝධය වේ. මේ අරිඅටඟිමඟ ම වේදනානිරෝධගාමිනී පටිපදාව යි. එනම් - සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි. වේදනාව නිසා යම් සුවයෙක් සොම්නසෙක් උපදී නම් මේ වේදනාවේ ආස්වාද යි. යම් වේදනාවක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් මේ වේදනාවේ ආදීනව යි. වේදනාවෙහි යම් ඡන්‍දරාගය දුරුකිරීමෙක් ඡන්‍දරාගය පැහීමෙක් වේ නම් මේ වේදනාවේ නිස්සරණ යි.