1. 20. 9.
අනිච්ච සූත්‍රය
257. මහණෙනි, අනිච්ච වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ඛයධම්ම වූ වයධම්ම වූ විරාගධම්ම වූ නිරෝධධම්ම වූ මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක් වේදනාව ය නොදුක්නොසුව වේදනාව යයි. මහණෙනි, මේ වේදනා තුන අනිච්ච ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. ඛයධම්ම ය. වයධම්ම ය. විරාගධම්ම ය. නිරෝධධම්ම යි.
1. 20. 10.
ඵස්සමූලක සූත්‍රය
258. මහණෙනි, ස්පර්‍ශයෙන් හටගත් ස්පර්‍ශය මුල් කොට ඇති ස්පර්‍ශය නිදාන කොට ඇති ස්පර්‍ශය ප්‍රත්‍යය කොට ඇති මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක්වේදනාව ය නොදුක්නොසුව වේදනාව යි. මහණෙනි, සුවවේදනාවට කරුණු වූ ස්පර්‍ශය නිසා සුවවේදනාව උපදී. සුව වේදනාවට කරුණු වූ ඒ ස්පර්‍ශයේ ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද සුවවේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ සුව වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.
මහණෙනි, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. දුක්වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ දුක්වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.
මහණෙනි, යම්සේ දඬු දෙකක ගැටීමෙන් එකතුවීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද. ඒ දඬු දෙකෙහි ම වෙන් වීමෙන් ඈත් වීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම මේ වේදනා තුන ඵස්සයෙන් හටගත්තේ ය. ඵස්සය මුල් කොට ඇත්තේ ය. ඵස්සය නිදාන කොට ඇත්තේ ය. ඵස්සය ප්‍රත්‍යය කොට ඇත්තේ ය. එයින් එයින් හටගත් ඵස්සය එයින් එයින් හටගත් වේදනාව උපදී. එයින් එයින් හටගත් ඵස්සය නිරෝධයෙන් එයින් එයින් හටගත් වේදනා නිරුද්ධ වේ යි.
පළමුවැනි සගාථවර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
සමාධි, සුඛ, පහාන, පාතාල, දට්ඨබ්බ, සල්ල යන සූත්‍ර සයය. ගෙලඤ්ඤසූත්‍ර දෙකය අනිච්චපස්සමූලක සූත්‍ර දෙක යයි සූත්‍ර දශයෙකි.