1. 20. 10.
ඵස්සමූලක සූත්රය
258. මහණෙනි, ස්පර්ශයෙන් හටගත් ස්පර්ශය මුල් කොට ඇති ස්පර්ශය නිදාන කොට ඇති ස්පර්ශය ප්රත්යය කොට ඇති මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනාව ය දුක්වේදනාව ය නොදුක්නොසුව වේදනාව යි. මහණෙනි, සුවවේදනාවට කරුණු වූ ස්පර්ශය නිසා සුවවේදනාව උපදී. සුව වේදනාවට කරුණු වූ ඒ ස්පර්ශයේ ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද සුවවේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ සුව වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.
මහණෙනි, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා දුක්වේදනාව උපදී. දුක්වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද, දුක්වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ දුක්වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ. මහණෙනි, මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා මැදහත් වේදනාව උපදී. මැදහත් වේදනාවට කරුණු වූ ඒ පහස්හි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක් වේ ද මැදහත් වේදනාවට කරුණු වූ පහස නිසා උපන් ඒ මැදහත් වේදනාව නිරුද්ධ වේ. එය සන්හිඳේ.
මහණෙනි, යම්සේ දඬු දෙකක ගැටීමෙන් එකතුවීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද. ඒ දඬු දෙකෙහි ම වෙන් වීමෙන් ඈත් වීමෙන් එයින් හටගත් යම් උණුසුමක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම මේ වේදනා තුන ඵස්සයෙන් හටගත්තේ ය. ඵස්සය මුල් කොට ඇත්තේ ය. ඵස්සය නිදාන කොට ඇත්තේ ය. ඵස්සය ප්රත්යය කොට ඇත්තේ ය. එයින් එයින් හටගත් ඵස්සය එයින් එයින් හටගත් වේදනාව උපදී. එයින් එයින් හටගත් ඵස්සය නිරෝධයෙන් එයින් එයින් හටගත් වේදනා නිරුද්ධ වේ යි.
පළමුවැනි සගාථවර්ග යි.
එහි සූත්රනාමාවලිය:
සමාධි, සුඛ, පහාන, පාතාල, දට්ඨබ්බ, සල්ල යන සූත්ර සයය. ගෙලඤ්ඤසූත්ර දෙකය අනිච්චපස්සමූලක සූත්ර දෙක යයි සූත්ර දශයෙකි.
2. රහෝගත වර්ගය
2. 2. 1.
රහෝගත සූත්රය
259. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: වහන්ස, “මෙහි එකලා වූ විවේකයෙන් යුත් මට මෙබඳු චිත්තවිතර්කයෙක් පහළ විය. වේදනා තුනක් භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද, සුවවේදනාවය, දුක්වේදනාවය, මැදහත්වේදනාවය” යි. මේ වේදනා තුන භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. “යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ”යි මෙ ද භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ’යි යන මෙය කුමක් සඳහා භාග්යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි.
මහණ, මැනව, මැනව මහණ, මේ වේදනා තුනක් මවිසින් දෙසන ලදි. සුවවේදනාය, දුක්වේදනාය, මැදහත්වේදනාය යි. මේ වේදනා තුන මා විසින් දෙසන ලදී. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි මෙ ද මා විසින් දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම අනිස බව සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ක්ෂය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම් කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම ව්යය ස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විරාගස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම නිරෝධස්වභාවය සඳහා දෙසන ලදි. මහණ, යම්කිසි වේදනාවක් වේ නම් එය දුකැ යි ඒ මෙය මා විසින් සංස්කාරයන්ගේ ම විපරිණාමස්වභාවය සඳහා දෙසන ලදි.
එතෙකුදුවත් මහණ, මා විසින් සංස්කාරයන්ගේ අනුපූර්ව නිරෝධය පවසන ලද්දේ ය. පළමු දැහැනට සමවන්නහුට වචනය නිරුද්ධ වූයේ වේ. දෙවන දැහැනට සමවන්නහුට විතර්ක විචාරයෝ නිරුද්ධ වෙති. තුන් වන දැහැනට සමවන්නහුට ප්රීතිය නිරුද්ධ වූවා වෙයි. සිවුවන දැහැනට සමවන්නහුටආශ්වාසප්රශ්වාසයෝ නිරුද්ධ වූවාහු වෙති. ආකාසානඤ්චායතනයට සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වූවා වෙයි. විඤ්ඤාණඤ්චායතනයට සමවන්නහුට ආකාසානඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. ආකිඤ්චඤ්ඤායතනයට සමවන්නහුට විඤ්ඤාණඤ්චායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතන සංඥා නිරුද්ධ වූවා වෙයි. සඤ්ඤාවේදයිත නිරෝධයට සමවන්නහුට සංඥාත් වේදනාත් නිරුද්ධ වූවා වෙත්. රහත් මහණහුට රාගය නිරුද්ධ වූයේ වෙයි. දෝසය නිරුද්ධ වූයේ වෙයි. මෝහය නිරුද්ධ වූයේ වෙයි.