1. 20. 8.
දුතිය ගෙලඤ්ඤ සූත්‍රය
256. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් ගිලන්හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මහණ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ (පරිනිර්‍වාණ) කාලය අපේක්‍ෂා කරන්නේ ය. මහණෙනි, මේ තොපට අපගේ අනුශාසනා යි.
මහණෙනි, මහණ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෙව්හි අභිජ්ඣාව හා දෝමනස්සය දුරු කොට වෙසෙයි. වේදනාවන්හි ... සිතෙහි … දහම්හි දහම් අනු ව බලනසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි අභිජ්ඣාව හා දෝමනස්සය දුරු කොට වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වේ.
මහණෙනි, මහණ කෙසේ නම් මනාදැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඉදිරි ගමන්හි පෙරළා ගමන්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. ඉදිරි බැලුම්හි අවට බැලුම්හි මානාදැනුම් ඇති ව කරනසුලු වෙයි. අත් පා හැකිළුම්හි දිගහැරීම්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. සඟළ පාසිවුරු දැරුම්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. කෑමෙහි පීමෙහි කඩා කෑමෙහි රස විඳීමෙහි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. මලමූ කිසෙහි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. ගමන්හි සිටුම්හි හිඳුම්හි නිදීම්හි නිදිවැරුම්හි කියුම්හි නිහඬබැව්හි මනාදැනුම් ඇති ව කරනසුලු වෙයි. මහණෙනි, මෙසේ මහණ මනාදැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇත්තේ මනාදැනුම් ඇත්තේ කාලය අපේක්‍ෂා කරන්නේ ය. මේ අපගේ අනුශාසනා යි.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහුට ඉදින් සුවවේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී. මට මේ සුවවේදනාවක් උපන. එ ද නිසා ය. නො නිසා නො වේ. කුමක් නිසා ද, මේ ස්පර්‍ශය ම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් සුවවේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ?යි.
හේ ස්පර්‍ශයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙයි. වැය අනුව බලනසුලු ව වෙසෙයි. විරාගය අනුව බලන සුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලන සුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනුව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඔහුට ස්පර්‍ශ යෙහිත් සුවවේදනාවෙහිත් යම් රගානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වෙයි.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහුට ඉදින් දුක්වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී. මට මේ දුක්වේදනාවක් උපන. එ ද නිසා ය, නොනිසා නො වෙයි. කුමක් නිසා ද, මේ ස්පර්‍ශයම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය. සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් දුක්වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ’ යි.
හෙතෙමේ ස්පර්‍ශයෙහිත් දුක්වේදනාවෙහිත් අනිස අනුව බලන සුලු ව වෙසෙයි. වැය අනු ව බලනසුලු ව වෙසෙයි. විරාගය අනු ව බලනසුලු ව වෙසෙයි. නිරෝධය අනුව බලනසුලු ව වෙසෙයි. පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙයි. ස්පර්‍ශයෙහිත් දුක් වේදනාවෙහිත් අනිස අනුව බලනසුලු ව වෙසෙන වැය අනුව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනුව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසෙන ඒ මහණහුට ස්පර්‍ශයෙහිත් දුක්වේදනාවෙහිත් යම් පටිඝානුසයයෙක් වේ නම් එය ප්‍රහීණ වේ.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනානුවණ ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් නොදුක්නොසුව වේදනාවක් උපදී නම් හේ මෙසේ දැනගනී: මට මේ නොදුක්නොසුව වේදනාවක් උපන. එ ද නිසා ය. නොනිසා නො වෙයි. කුමක් නිසා ද, මේ ස්පර්‍ශය ම නිසා ය. මේ ස්පර්‍ශය අනිස ය, සඞ්ඛත ය, පටිච්චසමුප්පන්න ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ ස්පර්‍ශය නිසා උපන් මැදහත් වේදනාව කොයින් නිත්‍ය වන්නේ දැ’ යි.