1. 20. 7.
ගෙලඤ්ඤ සූත්රය
255. එක්කලෙක භාග්යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් ගිලන්හල වෙත එළඹිසේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩ හිඳ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: මහණෙනි, මහණ තෙමේ සිහි ඇත්තේ මනා දැනුම් ඇත්තේ (ස්කන්ධපරිනිර්වාණ) කාලය අපේක්ෂා කරන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
මහණෙනි, මහණ කෙසේ නම් සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ රූ කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණ ඇති ව සිහි ඇති ව (කා) ලෙව්හි දැඩි ලෝබ හා දොම්නස් දුරු කොට වෙසේ ද, වේදනාවන්හි වේදනා අනුව බලමින් ... සිතෙහි සිත අනුව බලමින් ... දහම්හි දහම් අනු ව බලමින් කෙලෙස් තවන වෙර ඇති ව මනා නුවණ ඇති ව සිහි ඇති ව (දහම්) ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ ද මහණෙනි, මහණ මෙසේ සිහි ඇත්තේ වේ.
මහණෙනි, මහණ කෙසේ නම් දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඉදිරිගමන්හි හා ආපසු ගමන්හි මනා නුවණින් දැන කරනසුලු වේ ද ඉදිරිබැලීමෙහි අවට බැලීමෙහි මනානුවණින් කරනසුලු වේ ද (අත්පා) හැකිළීමෙහි හා දිගහැරීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, සඟළ හා පාසිවුරු දැරීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, බිදීමෙහි පීමෙහි කෑමෙහි හා රසවිඳීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මලමූ කිසෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, යෑමෙහි සිටීමෙහි හිඳීමෙහි නිදීමෙහි නිදිවැරීමෙහි බිණීමෙහි හා නො බිණීමෙහි මනානුවණින් දැන කරනසුලු වේ ද, මහණෙනි, මහණ මෙසේ මනානුවණ ඇත්තේ වේ. මහණෙනි, මහණ සිහි ඇත්තේ මනාදැනුම් ඇත්තේ කාලය අපේක්ෂා කරන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
මහණෙනි, ඉදින් මෙසේ සිහි ඇති ව මනාදැනුම් ඇති ව නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව කා දිවි දෙක්හි ආශා රහිත ව වෙසෙන මහණහට සුවවේදනාවක් උපදී ද හෙතෙමේ “මට මේ සුවවේදනාවක් උපන. එ ද නිසා ය, නොනිසා නො වේ. කුමක් නිසා ද යත්: මේ කය ම නිසා ය. මේ කය වනාහි අනිස ය. හේතූන් විසින් කරන ලද්දේ ය. ප්රත්යය නිසා උපන්නේ ය. අනිස වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් සුව වේදනාව කොයින් නිත්ය වන්නේ දැ”යි මෙසේ දනියි.
හෙතෙමේ කයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනු ව බලන සුලු ව වෙසේ. වැය අනු ව බලනසුලු ව වෙසේ. විරාගය අනු ව බලනසුලු ව වෙසේ. නිරෝධය අනු ව බලනසුලු ව වෙසේ පටිනිස්සග්ගය අනුව බලනසුලු ව වෙසේ. කයෙහිත් සුවවේදනාවෙහිත් අනිස අනු ව බලන සුලු ව වෙසෙන වැය අනු ව බලනසුලු ව වෙසෙන විරාගය අනු ව බලනසුලු ව වෙසෙන නිරෝධය අනු ව බලනසුලු ව වෙසෙන පටිනිස්සග්ගය අනු ව බලනසුලු ව වෙසෙන ඔහුගේ කයෙහිත් සුවවේදනාවෙහිත් යම් රාගානුසයයෙක් වේ නම් එය ප්රහීණ වේ.
මහණෙනි, මෙසේ සිහි ඇති ව මනා දැනුම් ඇති ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන ඒ මහණහට ඉදින් දුක්වේදනාවක් උපදී නම් හෙතෙමේ මෙසේ දනී: “මට මේ දුක්වේදනාවක් උපන. හෙ ද නිසා ය. නොනිසා නො වේ. කුමක් නිසා ද යත්: මේ කය ම නිසා ය. මේ කය වනාහි අනිත්ය ය. සඞ්ඛත ය. පටිච්චසමුප්පන්න ය. අනිත්ය වූ සඞ්ඛත වූ පටිච්චසමුප්පන්න වූ කය නිසා උපන් දුක්වේදනාව කොයින් නිත්ය වන්නී දැ”යි.