1. 9. 9.
ද්වය සූත්රය
92. මහණෙනි, තොපට දෙකක් (දෙ කොටසක් පිළිබඳ ධර්මයක්) දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දෙක කිමෙක් ද යත්: ඇස ද රූ ද, කන ද සද ද, නැහැය ද ගඳ ද, දිව ද රස ද, කය ද පහස් ද, සිත ද දහම් අරමුණ දැයි මහණෙනි මේ දෙක යයි කියනු ලැබේ.
මහණෙනි, යමෙක් මෙසේ කියන්නේ ද මම මේ (දහම්) දෙක පිළිකෙව් කොට අනෙක් දෙකක් පනවන්නෙමි යි. (ඒ) ඔහුගේ වචනමාත්රයෙක් ම වන්නේ ය. පුළුවුස්නා ලද්දේ ද සපයා කියන්නට නො හැකි වන්නේ ය. මතු ද වෙහෙසට පැමිණෙන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි යම් සේ නම් එමෙනි යි.
1. 9. 10.
දුතිය ද්වය සූත්රය
93. මහණෙනි, (හේතු ය - ප්රත්යය යන ධර්ම) දෙකක් නිසා විඤ්ඤාණය හටගනී. මහණෙනි, කෙසේ නම් දෙකක් නිසා විඤ්ඤාණය හටගනී ද යත්: ඇසත් රූත් නිසා චක්ඛුවිඤ්ඤාණය උපදී. ඇස අනිසය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රූ අනිසයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ. මෙසේ මේ දෙක සැලෙන්නේත් වැය වන්නේත් වෙයි. අනිසය පෙරළෙන සුලුය වෙනස් වනසුලු ය. ඇස් විනැණ අනිසය. පෙරලෙනසුලුය. වෙනස් වනසුලුය. ඇස්විනැණ ඉපදීම පිණිස යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිස ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්ය වූ ප්රත්ය ය නිසා හටගත් චක්ඛුවිඤ්ඤාණය කොයින් නිත්ය වන්නේ ද.
මහණෙනි, මේ තුන් දහමුන්ගේ යම් එක්වීමෙක් රැස්වීමෙක් සමාගමයෙක් වේ නම් මහණෙනි මේ චක්ඛුසම්ඵස්ස යයි කියනු ලැබේ. චක්ඛුසම්ඵස්සය ද අනිත්ය ය. පෙරලෙනසුලුය. වෙනස් වන සුලුය. චක්ඛුසම්ඵස්සයාගේ ඉපදීමට යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මහණෙනි, අනිත්ය වූ ප්රත්යය නිසා උපන් චක්ඛුසම්ඵස්සය කොයින් නිත්ය වන්නේ ද. මහණෙනි, පහස්නා ලද්දේ විඳි යි. පහස්නා ලද්දේ හඳුනයි. පහස්නා ලද්දේ සිතයි. මෙසේ මේ දහම්හු ද සැලෙන්නෝත් වැය වන්නෝත් වෙති. අනිත්යයහ. පෙරළෙන සුල්ලහ. වෙනස් වනසුල්ලහ.
කනත් ශබ්දයනුත් නිසා සෝතවිඤ්ඤාණය උපදියි ... නැහැයත් ගඳත් නිසා ඝානවිඤ්ඤාණය උපදියි ... දිවත් රසත් නිසා ජිව්හාවිඤ්ඤාණය උපදි යි ... දිව අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. රස අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. මෙසේ මේ දෙක සැලෙන්නෙත් වැය වන්නේත් වේ, අනිත්ය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණය අනිත්යය ය. පෙරලෙනසුලු ය. වෙනස් වනසුලු ය. ජිව්හාවිඤ්ඤාණයේ ඉපැද්මට යම් හේතුවකුත් යම් ප්රත්යයකුත් වේ නම් ඒ හේතුවත් ඒ ප්රත්යයත් අනිත්ය ය, පෙරලෙනසුලු ය. වෙනස් වනසුලුය. මහණෙනි, අනිත්ය වූ ප්රත්යය නිසා උපන් ජිව්හාවිඤ්ඤාණය කොයින් නිත්ය වන්නේ ද.