9. ඡන්න වර්‍ගය
1. 9. 1.
පලෝකධම්ම සූත්‍රය
84. සැවැත්නුවර–
එසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. ... එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළහ: වහන්ස, ලෝක යැ ලෝක යැ යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙකින් ලෝක යැ යි කියනු ලැබේ දැ යි.
ආනන්‍දයෙනි, යමෙක් බිඳෙනසැහැවි ඇත් ද, ආර්‍ය්‍යවිනයෙහි මේ ලෝක යැ යි කියනු ලැබේ. ආනන්‍දයෙනි, කිමෙක් බිඳෙනසුලු වේ යැ යත්: ආනන්‍දයෙනි, චක්‍ෂුස බිඳෙනසුලු යැ රූපයෝ බිඳෙනසුලු යැ චක්‍ෂුර්විඥානය බිඳෙනසුලු යැ චක්‍ෂුසංස්පර්‍ශය බිඳෙනසුලු යැ චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් ද එ ද බිඳෙනසුලු යැ ...
ජිව්හා බිඳෙනසුලු යැ රසයෝ බිඳෙනසුලු යැ ජිව්හාවිඥානය බිඳෙනසුලු යැ ජිව්හාසංස්පර්‍ශය බිඳෙනසුලු යැ ජිව්හාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇද්ද එ ද බිඳෙනසුලු යැ ...
මනස බිඳෙනසුලු යැ. ධර්‍මයෝ බිඳෙනසුලු යැ. මනෝවිඥානය බිඳෙනසුලු යැ. මනස්සංස්පර්‍ශය බිඳෙනසුලු යැ. මනස්සංස්පර්‍ශ ප්‍රත්‍යෙයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇද්ද එ ද බිඳෙනසුලු යි. ආනන්‍දයෙනි, යමෙක් බිඳෙනසුලු වේ ද ආර්‍ය්‍යවිනයෙහි මේ ලෝක යයි කියනු ලැබේ.
1. 9. 2.
සුඤ්ඤතලෝක සූත්‍රය
85. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: වහන්ස, ලෝකය ශූන්‍ය යැ යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙකින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ දැයි. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ.
ආනන්‍දයෙනි, කිමෙක් ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ යැ යත්: ආනන්‍දයෙනි, චක්‍ෂුස ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. රූපයෝ ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍යයහ. චක්ඛුවිඤ්ඤාණය ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ චක්ඛුසම්ඵස්සය ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යැ. චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යි … මනෝසම්ඵස්ස ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් ශූන්‍ය යි. යම් හෙයෙකින් ආනන්‍දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ ද එහෙයින් ‘ලෝකය ශූන්‍ය’ යැ යි කියනුලැබේ.
1. 9. 3.
සඞ්ඛිත්තධම්ම සූත්‍රය
86. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. වහන්ස, ආරාධනා කෙරෙමි මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකවිහාරී වැ ගණයා කෙරෙන් වෙන් වැ සිහි ඇති වැ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වැ අරමුණට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නෙමි නම් එවන් දහමක් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දේශනා කරන සේක්වා’යි.
ආනන්‍දයෙනි, ඒ කිමැයි හඟිහි? චක්‍ෂුස නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුක් යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය තෙල මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ යි දක්නට නිසි වේ දැ යි. වහන්ස, තෙල නිසි නො වේ මැ යි රූපයෝ නිත්‍ය හෝ වෙත් ද අනිත්‍ය හෝ වෙත් දැ යි. අනිත්‍යයහ වහන්ස, … චක්ඛුවිඤ්ඤාණය, … චක්ඛුසම්ඵස්සය ... චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැයි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය නම් එ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුක් යැ වහන්ස, යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි ...