1. 9. 8.
දුතිය එජා සූත්‍රය
91. මහණෙනි, තෘෂ්ණාව රෝගයෙකි. තෘෂ්ණාව ගඬෙකි. තෘෂ්ණාව හුලෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා තථාගත තෙමේ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසේ. මහණෙනි, එහෙයින් ඉදින් මෙසස්නෙහි මහණ තෘෂ්ණා රහිත ව පහ වූ හුල් ඇති ව වෙසෙන්නෙමි යි කැමැති වන්නේ නම් ඇස තෘෂ්ණාවශයෙන් නො හඟනේ ය. ඇසෙහි නො හඟනේ ය. ඇසින් නො හඟනේ ය. චක්‍ෂුස මාගේ යයි නො හඟනේ ය. රූප නො හඟනේ ය ... චක්‍ෂුර්විඥානය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නො හඟනේ ය ... චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් නො හඟනේ ය. එහිත් නො හඟනේ ය. එයිනුත් නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණාවශයෙන් හඟී ද, යමෙක්හි හඟී ද යමකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි අලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.
ශොත්‍රය නො හඟනේ ය … ඝ්‍රාණය නො හඟනේ ය. ජිහ්වාව ආත්මය යි නො හඟනේ ය. ජිව්හායෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හායෙන් බැහැර ආත්මය ඇතැ යි නො හඟනේ ය. ජිව්හා මාගේ යයි නො හඟනේ ය. රස ආත්මය යි නො හඟනේ ය … ජිව්හාවිඤ්ඤාණය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟනේ ය … ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් තෘෂ්ණා වශයෙන් හඟී ද යමෙක්හි හඟී ද යමකින් හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුනු ලෝවැසි තෙමේ භවය ම පතයි.
කය ආත්මය යි නො හඟනේ ය. … සිත ආත්මය යි නො හඟනේ ය. සිතෙහි ආත්මය ඇතැ යි නො හඟනේ ය. සිතින් බැහැර ආත්මය ඇතැයි නො හඟනේ ය. සිත මාගේ යයි නො හඟනේ ය.
දහම් (අරමුණ) ආත්මය යි නො හඟනේ ය. … මනෝවිඤ්ඤාණය … මනෝසම්ඵස්සය … මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් උපදී නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැයි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. මහණෙනි, යමක් හඟී ද, යමෙක්හි හඟී ද, යමෙකින් හඟී ද, යමක් මාගේ යයි හඟී ද, එයින් එය අන් පරිදි වේ. අන් පරිදි වනසුලු වූ භවයෙහි ඇලුණු ලෝවැසි තෙමේ භවය ම පතයි.
මහණෙනි, යම්තාක් ස්කන්‍ධ ධාතු ආයතනයෝ වෙත් නම් එයත් ආත්මය යි නො හඟනේ ය. එහිත් ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයින් බැහැර ද ආත්මය ඇතැ යි නො හඟනේ ය. එයත් මාගේ යයි නො හඟනේ ය. හෙ මෙසේ නො හඟනේ ලොව කිසිවක් දැඩි සේ නො ගනී. නො ගන්නේ නො තැති ගනී. නො තැති ගන්නේ තෙමේ ම පිරිනිවෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. රහත්බව පිණිස කළයුතු දෑ කරන ලදි. මේ රහත්බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
1. 9. 9.
ද්වය සූත්‍රය
92. මහණෙනි, තොපට දෙකක් (දෙ කොටසක් පිළිබඳ ධර්‍මයක්) දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, දෙක කිමෙක් ද යත්: ඇස ද රූ ද, කන ද සද ද, නැහැය ද ගඳ ද, දිව ද රස ද, කය ද පහස් ද, සිත ද දහම් අරමුණ දැයි මහණෙනි මේ දෙක යයි කියනු ලැබේ.
මහණෙනි, යමෙක් මෙසේ කියන්නේ ද මම මේ (දහම්) දෙක පිළිකෙව් කොට අනෙක් දෙකක් පනවන්නෙමි යි. (ඒ) ඔහුගේ වචනමාත්‍රයෙක් ම වන්නේ ය. පුළුවුස්නා ලද්දේ ද සපයා කියන්නට නො හැකි වන්නේ ය. මතු ද වෙහෙසට පැමිණෙන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි යම් සේ නම් එමෙනි යි.