1. 9. 6.
බාහිය සූත්‍රය
89. එකල්හි ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පස් ව හුන් ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමාව කෙලෙස් තවන වෙර ඇතියෙම් නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා යි.
බාහිය, ඒ කිමැයි හැඟිහි ද, ඇස නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය, යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්‍ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් “මේ මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම යැයි දක්නට සුදුසු දැ” යි. වහන්ස, මෙය නො වේ ම ය.
රූප නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. ... චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. … චක්ඛුසම්ඵස්සය නිත්‍ය හෝ වේ ද, අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. ... මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව හෝ යම් මේ විඳුමෙක් උපදී නම් හෙ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. වහන්ස, අනිත්‍ය ය. යමක් අනිත්‍ය නම් එය දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිස නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
බාහිය මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක ඇසෙහිත් කලකිරෙයි. රූපයෙහිත් කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් ... චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇලුම් හෙයින් මිදෙයි. මිදුනු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. (රහත්බව) පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
ඉක්බිති ආයුෂ්මත් බාහිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. එකල්හි ආයුෂ්මත් බාහිය තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙත් නම් මගබඹසර කෙළවර වූ අනුත්තර වූ ඒ අර්‍හත්ත්‍වය නො බෝ කලකින් ම තුමූ වෙසෙසින් දැන පසක් කොට ඊට එළඹ විසූහ.
ජාතිය ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. රහත්බව පිණිස කළ යුතු කරන ලදී. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගත්හ. ආයුෂ්මත් බාහිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.