1. 9. 5.
පුණ්ණ සූත්‍රය
88. එකල්හි ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් පුණ්ණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, “මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වාසය කරන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු ) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක්වා” යි.
පුණ්ණ චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ රූ ඇත් ම ය. ඉදින් මහණ එය පතා ද, ප්‍රියමනාප යයි කියා ද, ගැලී සිටී ද, එය පතන ප්‍රියමනාප යයි කියන ගැලී සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව උපදී. පුණ්ණ සප්‍රීතික තෘෂ්ණාවේ ඉපැද්මෙන් දුකේ ඉපැද්ම වේ යයි කියමි.
පුණ්ණ සෝතවිඤ්ඤානයෙන් දතයුතු ශබ්ද ඇත් ම ය. ඝානවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ … ජිහ්වාවිඤ්ඤාණයෙන් දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දතයුතු පහස … පුණ්ණ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන ප්‍රියස්වභාව ඇති කාමයෙන් යුක්ත වූ ඇලුම් කටයුතු වූ දහම් ඇත් ම ය. ඉදින් මහණ එය පතා ද, ප්‍රියමනාප යයි කියා ද, ගැලී සිටි ද, පුණ්ණ, එය පතන ප්‍රියමනාප යයි කියන ගැලී සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව උපදී. සප්‍රීතික තෘෂ්ණාව ඉපැද්මෙන් දුක් ඉපැද්ම වේ යයි කියමි.
පුණ්ණ චක්ඛුවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වු කමනීය වූ, මනවඩන ප්‍රිය දෑ වූ කාමයෙන් යුතු ඇලුම් කටයුතු රූ ඇත් ම ය. ඉදින් මහණ එය නො පතා ද, ප්‍රියමනාප යයි නො කියා ද, ගැලී නො සිටී ද, පුණ්ණ, එය නො පතන ප්‍රියමනාප යයි නො කියන ගැලී නො සිටින ඔහුට සප්‍රීතික තෘෂ්ණාව නිරුද්ධ වෙයි. සප්‍රීතික තෘෂ්ණාව නිරෝධයෙන් දුඃඛ නිරෝධය වේ යයි කියමි.
පුණ්ණ, සෝතවිඤ්ඤානයෙන් දතයුතු ශබ්ද ඇත් ම ය ... ඝානවිඤ්ඤාණයෙන් දතයුතු ගන්‍ධ … ජිහ්වාවිඤ්ඤාණයෙන් දතයුතු රස … කායවිඤ්ඤාණයෙන් දතයුතු පහස් … පුණ්ණ, මනෝවිඤ්ඤාණයෙන් දතයුතු ඉටු වූ කමනීය වූ මනවඩන පියදෑ වූ කාමයෙන් යුතු ඇලුම් කටයුතු දහම් ඇත් ම ය. ඉදින් මහණ එය නො පතා ද, ප්‍රියමනාප යයි නො කියා ද, ගැලී නො සිටී ද පුණ්ණ, එය නො පතන ප්‍රියමනාප යයි නො කියන ගැලී නො සිටින ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණා නිරෝධයෙන් දුක්ඛනිරෝධය වේ යයි කියමි.
පුණ්ණ, මා විසින් මේ අවවාදයෙන් සැකෙවින් අවවාද කරන ලද තෙපි කවර දනව්වෙක වසන්නහු දැ යි. වහන්ස, සුනාපරන්ත නම් දනව්වෙක් ඇත එහි මම වෙසෙන්නෙමි යි.
පුණ්ණ, සුනාපරන්ත දනව්වැසි මිනිස්සු චණ්ඩයහ. පුණ්ණ, සුනාපරන්ත දනව්වැසි මිනිස්සු පරුෂයහ. පුණ්ණ, ඉදින් තොපට සුනාපරන්තක මිනිස්සු අක්‍රොශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් මට සුනාපරන්තක මිනිස්සු ආක්‍රෝශ කරන්නාහු නම් පරිභව කරන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේය: මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් යහපත්හ. මේ සුනාපරන්තක මිනිස්සු ඒකාන්තයෙන් ඉතා යහපත්හ. යම්හෙයකින් මොහු මට අතින් පහර නො දෙද්ද, (එහෙයිනි) යි. භාග්‍යවතුන් වහන්ස, එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය. සුගතයන් වහන්ස, එහි ලා මට මෙබඳු අදහසෙක් වන්නේ යි.
පුණ්ණ, ඉදින් සුනාපරන්තක මිනිස්සු තොපට අතින් පහර දෙන්නාහු නම් පුණ්ණ, එහි ලා තොපට කවර නම් සිතෙක් වන්නේ දැ යි. වහන්ස, ඉදින් සුනාපරන්තක මිනිස්සු අතින් මට පහර දෙන්නාහු නම් එහි ලා මට මෙබඳු සිතෙක් වන්නේ ය.