1. 9. 4.
ඡන්න සූත්‍රය
87. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වාස කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි ගිලන් වෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැඟී ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කරුණ වදාළහ: ‘යම්හ ඇවැත්නි චුන්‍දයෙනි, ආයුෂ්මත් ඡන්න තෙරුන් කරා ගිලන්උවටැන් පුළුවුස්නමෝ එළැඹෙම්හ’යි. ‘එසේ යැ, ඇවැත්නි’යි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
එසඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ පනවනලද අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න තෙරණුවන්ට තෙල කරුණ වදාළහ.
කිම ඇවැත්නි, තොපට ඉවැසියහැකි ද, කිම යැපියහැකි ද, කිම දුක් වේදනාවෝ බැසයෙත් ද, නො වැඩෙත් ද, බැස යෑමේ අවසානය පැනේ ද, වැඩීමෙක් නො පැනේ දැ? යි.
ඇවැත්නි ශාරීපුත්‍රයෙනි, මට ඉවැසිය නො හෙයි, යැපිය නො හෙයි, මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති, නො බැසයෙති, වඩනා අවසන පැනෙයි, බැසීමෙක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෙකු තියුණු සැතෙකින් මුදුන පෙළා ද එපරිද්දෙන් මැ ඇවැත්නි අධිමාත්‍ර වාතයෝ මුදුන පෙළති.
ඇවැත්නි, මට ඉවැසිය නො හෙයි යැපිය නො හෙයි … බැසීමක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෙක් දැඩි වරපටෙකින් හිසෙහි හිස්වෙළුම් දෙන්නේ ද, එපරිද්දෙන්ම ඇවැත්නි, මාගේ ශීර්‍ෂවේදනා අධිමාත්‍ර වෙයි.
ඇවැත්නි, මට ඉවසිය නොහෙයි. යැපිය නො හෙයි … බැසීමක් නො පැනේ. යම්සේ ඇවැත්නි, දක්‍ෂ ගෝඝාතකයෙක් හෝ ගෝඝාතක ඇතැවැසියෙක් හෝ තියුණු වූ ගෙරිකපන කැත්තෙකින් කුස කපන්නේ ද, එපරිද්දෙන් මැ ඇවැත්නි, අධිමාත්‍ර වාතයෝ කුස කපති.
ඇවැත්නි, මට ඉවසිය නො හෙයි. යැපිය නො හෙයි ... බැසීමෙක් නො පැනේ. යම්සේ ඇවැත්නි, බලවත් පුරුෂයෝ දෙදෙනෙක් දුර්‍වලතර පුරුෂයක්හු වෙන වෙන අත්හි ගෙන සහළඟුරු වළෙකලා තවන්නාහු ද හාත්පසින් තවන්නාහු ද එපරිද්දෙන් මැ ඇවැත්නි, කයෙහි අධිමාත්‍ර දාහ වෙයි.
ඇවැත්නි, මට ඉවසිය නො හෙයි යැපිය නො හෙයි. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩෙති. නො බැස යෙති. වඩනා අවසන පැනෙයි, බැසීමෙක් නො පැනෙයි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, ශස්ත්‍රයක් එළවන්නෙමි, ජීවිතය නො කැමැත්තෙමි’යි.
ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ නහමක් ශස්ත්‍රාහරණ කෙරෙත්වා. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ යැපෙත්වා. ඇපි ආයුෂ්මත් ඡන්න තෙරණුවන් යැපෙනුවන් (දක්නා) කැමැත්තම්හ. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට සත්ප්‍රාය භෝජන සොයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට සත්ප්‍රාය බෙහෙසත් නැත් නම් මම සත්ප්‍රාය බෙහෙසත් සොයන්නෙමි. ඉදින් ආයුෂ්මත් ඡන්න තෙරණුවනට ප්‍රතිරූප උපස්ථායකෝ නැත් නම් මම ආයුෂ්මත් ඡන්න තෙරණුවනට උපස්ථාන කරන්නෙමි. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ සැතක් නො එළවත්වා. ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ යැපෙත්වා. ඇපි ආයුෂ්මත් ඡන්න තෙරණුවන් යැපෙනුවන් (දක්නා) කැමැත්තම්හ’යි.