1. 9. 3.
සඞ්ඛිත්තධම්ම සූත්‍රය
86. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ. වහන්ස, ආරාධනා කෙරෙමි මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා ඒකවිහාරී වැ ගණයා කෙරෙන් වෙන් වැ සිහි ඇති වැ කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතු වැ අරමුණට මෙහෙයූ සිත් ඇති වැ වාස කරන්නෙමි නම් එවන් දහමක් භාග්‍යවතුන් වහන්සේ මට සැකෙවින් දේශනා කරන සේක්වා’යි.
ආනන්‍දයෙනි, ඒ කිමැයි හඟිහි? චක්‍ෂුස නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුක් යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය තෙල මාගේ යැ තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ යි දක්නට නිසි වේ දැ යි. වහන්ස, තෙල නිසි නො වේ මැ යි රූපයෝ නිත්‍ය හෝ වෙත් ද අනිත්‍ය හෝ වෙත් දැ යි. අනිත්‍යයහ වහන්ස, … චක්ඛුවිඤ්ඤාණය, … චක්ඛුසම්ඵස්සය ... චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැයි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය නම් එ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුක් යැ වහන්ස, යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාම ස්වභාව වේ නම් එය ‘තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙල මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ ද? වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි ...
ජිව්හා නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැ යි … රසයෝ … ජිව්හාවිඤ්ඤාණය ... ජිව්හාසම්ඵස්සය … මනෝසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි. නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇත් නම් එ ද නිත්‍ය හෝ වේ ද අනිත්‍ය හෝ වේ දැයි. අනිත්‍ය යැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය වේ නම් ඒ දුක් හෝ වේ ද සුව හෝ වේ දැ යි. දුකැ වහන්ස. යළි යමෙක් අනිත්‍ය දුඃඛ විපරිණාමස්වභාව වේ නම් එය ‘තෙල මාගේ යැ, තෙලෙ මම වෙමි, තෙලෙ මාගේ ආත්ම යැ’යි දක්නට නිසි වේ දැ යි. වහන්ස, තෙලෙ නිසි නො වේ මැ යි.
ආනන්‍දයෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහි ද කලකිරෙයි. රූපයන්හි ද කලකිරෙයි, චක්‍ෂුර්විඥානයෙහි දු කලකිරෙයි. චක්‍ෂුස්සංස්පර්‍ශයෙහි දු කලකිරෙයි ... මනස්සංස්පර්‍ශ ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ විරක්ත වෙයි, විරාග හේතුවින් විමුක්ත වෙයි. විමුක්ත කල්හි ‘විමුක්ත’ යැ යි ඥානය වෙයි. “ජාතිය ක්‍ෂය වූ යැ. මඟබඹසර වැස නිමවන ලද යැ. කරණී කරනලද, මේ රහත්බව් පිණිස කළයුතු අන් කිසෙක් නැති යි ද දැනගනී යයි.
1. 9. 4.
ඡන්න සූත්‍රය
87. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවන අරම්හි වැඩ වසනසේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ද ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ ද ගිජුකුළු පව්වෙහි වාස කෙරෙති. එසමයෙහි ආයුෂ්මත් ඡන්න තෙරණුවෝ හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩි ගිලන් වෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් වේලෙහි පලසමවතින් නැඟී ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවන් කරා එළැඹියහ. එළැඹ ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේට තෙල කරුණ වදාළහ: ‘යම්හ ඇවැත්නි චුන්‍දයෙනි, ආයුෂ්මත් ඡන්න තෙරුන් කරා ගිලන්උවටැන් පුළුවුස්නමෝ එළැඹෙම්හ’යි. ‘එසේ යැ, ඇවැත්නි’යි ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
එසඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් මහාචුන්‍ද ස්ථවිරයන් වහන්සේ ද ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් වහන්සේ කරා එළැඹියහ. එළැඹැ පනවනලද අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් ඡන්න තෙරණුවන්ට තෙල කරුණ වදාළහ.