1. 8. 9.
ලෝක සූත්රය
82. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. වහන්ස, “ලෝක ය ලෝකය යි කියනු ලැබේ. වහන්ස, කොතෙකින් ලෝකය යි කියනු ලැබේ දැ” යි.
මහණ, (පලුදු වේ) නැසේ නු යි එහෙයින් ලෝකය යි කියනු ලැබේ. කිමෙක් පලුදු වේ ද යත්: මහණ, ඇස පලුදු වේ. රූ පලුදු වේ. චක්ඛුවිඤ්ඤාණය පලුදු වේ. ඇස්පහස පලුදු වේ. ඇස් පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් ඒ ද පලුදු වෙයි … මහණ, පලුදු වේ නු යි (නැසේ) එහෙයින් ලෝකය යි කියනු ලැබේ යි.
1. 8. 10.
ඵග්ගුන සූත්රය
83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් ඵග්ගන තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, නැසූ තෘෂ්ණා ප්රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ ඉකුත් බුදුවරයන් පිරිනිවි යම් ඇසෙකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් ඇද්දැ යි. … වහන්ස, පිරිනිවි ඉකුතු බුදුවරයන් යම් දිවකින් පනවා නම් එබඳු දිවෙක් ඇද්ද යි. … නැසූ තෘෂ්ණාප්රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් ඇද්ද යි.
ඵග්ගුන, නැසූ තෘෂ්ණාප්රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් ඇසකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් නැත්ම ය. … ඵග්ගුණ, පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් දිවෙකින් පනවා නම් එබඳු දිවෙක් නැත් ම ය. … ඵග්ගුණ, නැසූ තෘෂ්ණාප්රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවී ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් නැත් මැ යි.
අටවැනි ගිලාන වර්ග යි.
එහි සූත්රනාමාවලිය:
ගිලාන නමින් සූත්ර දෙකෙක් ද රාධ නමින් අනෙක් තුනෙක් ද කියන ලදහ. අවිජ්ජා නමින් දෙකෙක් ද භික්ඛු ලෝක ඵග්ගුණ යයි සූත්ර තුනෙක් ද කියන ලදහ.