1. 8. 10.
ඵග්ගුන සූත්‍රය
83. එකල්හි ආයුෂ්මත් ඵග්ගුණ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … එකත්පස් ව හුන් ආයුෂ්මත් ඵග්ගන තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ:
වහන්ස, නැසූ තෘෂ්ණා ප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ ඉකුත් බුදුවරයන් පිරිනිවි යම් ඇසෙකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් ඇද්දැ යි. … වහන්ස, පිරිනිවි ඉකුතු බුදුවරයන් යම් දිවකින් පනවා නම් එබඳු දිවෙක් ඇද්ද යි. … නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් ඇද්ද යි.
ඵග්ගුන, නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් ඇසකින් පනවන්නෙක් පනවා නම් එබඳු ඇසෙක් නැත්ම ය. … ඵග්ගුණ, පිරිනිවි ඉකුත් බුදුවරයන් යම් දිවෙකින් පනවා නම් එබඳු දිවෙක් නැත් ම ය. … ඵග්ගුණ, නැසූ තෘෂ්ණාප්‍රපඤ්ච ඇති නැසූ තෘෂ්ණාමාර්‍ග ඇති කෙළවර කළ සසරවට ඇති සියලු දුක් ඉක්ම වූ පිරිනිවී ඉකුත් බුදුවරයන් යම් සිතකින් පනවන්නෙක් පනවා නම් එබඳු සිතෙක් නැත් මැ යි.
අටවැනි ගිලාන වර්‍ග යි.
එහි සූත්‍රනාමාවලිය:
ගිලාන නමින් සූත්‍ර දෙකෙක් ද රාධ නමින් අනෙක් තුනෙක් ද කියන ලදහ. අවිජ්ජා නමින් දෙකෙක් ද භික්ඛු ලෝක ඵග්ගුණ යයි සූත්‍ර තුනෙක් ද කියන ලදහ.
9. ඡන්න වර්‍ගය
1. 9. 1.
පලෝකධම්ම සූත්‍රය
84. සැවැත්නුවර–
එසඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ කරා එළැඹියහ. ... එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැල කළහ: වහන්ස, ලෝක යැ ලෝක යැ යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙකින් ලෝක යැ යි කියනු ලැබේ දැ යි.
ආනන්‍දයෙනි, යමෙක් බිඳෙනසැහැවි ඇත් ද, ආර්‍ය්‍යවිනයෙහි මේ ලෝක යැ යි කියනු ලැබේ. ආනන්‍දයෙනි, කිමෙක් බිඳෙනසුලු වේ යැ යත්: ආනන්‍දයෙනි, චක්‍ෂුස බිඳෙනසුලු යැ රූපයෝ බිඳෙනසුලු යැ චක්‍ෂුර්විඥානය බිඳෙනසුලු යැ චක්‍ෂුසංස්පර්‍ශය බිඳෙනසුලු යැ චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇත් ද එ ද බිඳෙනසුලු යැ ...
ජිව්හා බිඳෙනසුලු යැ රසයෝ බිඳෙනසුලු යැ ජිව්හාවිඥානය බිඳෙනසුලු යැ ජිව්හාසංස්පර්‍ශය බිඳෙනසුලු යැ ජිව්හාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇද්ද එ ද බිඳෙනසුලු යැ ...
මනස බිඳෙනසුලු යැ. ධර්‍මයෝ බිඳෙනසුලු යැ. මනෝවිඥානය බිඳෙනසුලු යැ. මනස්සංස්පර්‍ශය බිඳෙනසුලු යැ. මනස්සංස්පර්‍ශ ප්‍රත්‍යෙයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් වේදයිතයෙක් ඇද්ද එ ද බිඳෙනසුලු යි. ආනන්‍දයෙනි, යමෙක් බිඳෙනසුලු වේ ද ආර්‍ය්‍යවිනයෙහි මේ ලෝක යයි කියනු ලැබේ.
1. 9. 2.
සුඤ්ඤතලෝක සූත්‍රය
85. එකත්පස් වැ හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ: වහන්ස, ලෝකය ශූන්‍ය යැ යි කියනු ලැබෙයි. වහන්ස, කෙතෙකින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ දැයි. යම් හෙයකින් ආනන්‍දයෙනි, ආත්මයෙන් හෝ ආත්මය අයත් දැයින් හෝ ශූන්‍ය වේ ද, එහෙයින් ලෝකය ශූන්‍ය යැ යි කියනුලැබේ.