8. ගිලාන වර්ගය
1. 8. 1.
ගිලාන සූත්රය
74. සැවැත්නුවර–
එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ කරා එළැඹියේ ය. එළඹ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය:
වහන්ස, “අසෝ වෙහෙරෙහි අප්රසිද්ධ වූ එක්තරා නවක මහණෙක් හටගත් රෝග ඇති ව දුකට පැමිණ දැඩිගිලන් ව වෙසෙයි. වහන්ස, අයදිමි, භාග්යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණ වෙත එළඹෙන සේක්වා” යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ නවකයෙක යන වචනයත් ගිලනෙක යන වචනයත් අසා නාඳුනන මහණෙකැයි මෙසේ දැන ඒ මහණ වෙත එළඹි සේක. ඒ මහණ එළඹෙන භාග්යවතුන් වහන්සේ දුර දීම දැක්කේ ය. දැක ඇඳෙන් නැගිටිනා අයුරක් දැක්වී. එකල්හි භාග්යවතුන් වහන්සේ ඒ මහණහට මෙය වදාළ සේක: “මහණ කම් නැත. තෙපි ඇඳෙන් නැගිටිනා අයුරක් නහමක් කරහු. පනවන ලද මේ අසුන් ඇත. එහි මම හිඳින්නෙමි” යි. භාග්යවතුන් වහන්සේ වැඩහිඳ ඒ මහණහට මෙය වදාළ සේක:
මහණ තට කිම ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? දුක්ඛ වේදනාවෝ කිම අඩු වෙද්ද? වැඩි නොවෙද්ද? මේ වේදනාවන්ගේ අඩුවීමෙක් මිස වැඩිවීමෙක් නො පැ නේ දැ යි.
වහන්ස, මට නොඉවසිය හැකි ය. නොයැපියි හැකි ය. මාගේ දැඩි දුක්ඛ වේදනාවෝ වැඩිවෙත්. නොඅඩුවෙත්. මොවුන්ගේ වැඩිවීම මිස අඩුවීමෙක් නො පැනේ යි.
මහණ “තට කිසියම් කුකුසෙක් නො වේ ද? කිසියම් විපිළිසරෙක් නො වේ දැ” යි. වහන්ස, මට ඒකාන්තයෙන් මහත් කුකුසෙක් වේ. මහත් විපිළිසරයෙක් වේ.
මහණ කිම තෙමේ තට ශීලයෙන් උපවාද නො කෙරේ දැ යි. වහන්ස, මට තෙමේ ශීලයෙන් උපවාද නො කෙරේ මැ යි.
මහණ, ඉදින් තට තෙමේ ශීලයෙන් උපවාද නො කෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහි ද විපිළිසර කිමෙක් දැ යි. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි නො ම දනිමි යි.
මහණ ඉදින් තෙපි ශීලවිශුද්ධිය පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි නො ම දනිහු නම් එකල්හි කුමක් පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි දනිහු දැ යි. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් රාගවිරාගය පිණිස දහම් දෙසන ලදැ යි මම දනිමි යි.
මහණ, මැනවි මැනවි. මහණ තෙපි රාගවිනය පිණිස මා විසින් දහම් දෙසන ලදැ යි දනිවු. මැනවි. මහණ මා විසින් දහම් දෙසන ලද්දේ රාගවිරාගය පිණිස මැ යි.
මහණ ඒ කිමැ යි හඟිහි ද? ඇස නිත්ය ද නොහොත් අනිත්ය දැ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් ද නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමෙක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම්: “මෙය මාගේ ය. මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය ... දිව නිත්ය ද, නැතහොත් අනිත්ය දැ යි වහන්ස, අනිත්ය ය … සිත නිත්ය ද නැතහොත් අනිත්ය දැ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් ද, නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් පෙරලෙනසුලු නම් “මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය” යි එය දක්නට සුදුසු දැ යි. වහන්ස, නො වේම ය.
මහණ, මෙසේ දක්නා ශ්රැතවත් ආර්ය්යශ්රාවක තෙමේ ඇසෙහි දු කලකිරෙයි. කනෙහි දු කලකිරෙයි. නැහැයෙහි දු කලකිරෙයි. දිවෙහි දු කලකිරෙයි. කයෙහිදු කලකිරෙයි. සිතෙහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුම් හෙයින් මිදෙයි. මිදුණුකල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂීණ විය. මගබඹසර වැස නිමවන ලදි. කටයුතු දෑ කරන ලදි. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිතැති ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ අගාථක සූත්රය දෙසනු ලබන කල්හි ඒ මහණහට “යමක් හටගැනීම ස්වභාව කොට ඇත්තේ නම් ඒ සියල්ල නැසෙන සුලුය” යි. පහ වූ රජස් (කෙලෙස්) ඇති පැහැ වූ (කෙලෙස්) මල ඇති දහම් ඇස පහළ වූයේ යි.