1. 8. 2.
දුතිය ගිලාන සූත්රය
75. එකල්හි එක්තරා මහණෙක් භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, අසෝ වෙහෙරෙහි එක්තරා අප්රසිද්ධ නවක මහණෙක් වැළඳුණු ලෙඩ ඇති ව දුකට පැමිණ දැඩි ගිලන් ව වෙසෙයි. අයදිමි වහන්ස, භාග්යවතුන් වහන්සේ අනුකම්පා කොට ඒ මහණහු වෙත එළඹෙන සේක්වා යි.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ නවකයෙක යන කතාවත් ගිලනෙක යන කතාවත් අසා නාඳුනන මහණෙකැ යි මෙසේ දැන ඒ මහණ වෙත එළඹි සේක. ඒ මහණ තෙමේ එළඹෙන භාග්යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක ඇඳෙන් නැගිටිනා අයුරක් දැක්විය. එකල්හි භාග්යවතුන් වහන්සේ ඒ මහණට මෙය වදාළ සේක: මහණ, “කම් නැති, තෙපි ඇඳෙන් නැගිටින අයුරක් නහමක් කරහු පනවන ලද මේ අසුන් ඇත. එහි මම හිඳගන්නෙමි” යි. භාග්යවතුන් වහන්සේ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. භාග්යවතුන් වහන්සේ වැඩහිඳ ඒ මහණහට මෙය වදාළ සේක:
මහණ “තට ඉවසිය හැකි ද යැපිය හැකි ද කිම දුක් වේදනාවෝ අඩුවෙත් ද වැඩි නොවෙද් ද වේදනාවන්ගේ අඩුවීමෙක් මිස වැඩිවීමෙක් නො පැනේ දැ” යි.
වහන්ස, මට නොඉවසිය හැකි ය. නොයැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩිවෙත්. නො අඩු වෙත්. ඔවුන්ගේ වැඩිවීමෙක් මිස අඩුවීමෙක් නො පැනේ යි.
මහණ, කිම තට කිසියම් කුකුසෙක් නො වේ ද කිසියම් විපිළිසරෙක් නො වේ දැ යි. වහන්ස, මට ඒකාන්තයෙන් මහත් කුකුසෙක් වේ. මහත් විපිළිසරෙක් වේ යි.
මහණ, කිම තට තෙමේ ශීලයෙන් උපවාද කෙරේ දැ යි. වහන්ස, මට තෙමේ ශීලයෙන් නහමක් උපවාද කෙරේ යි.
මහණ ඉදින් තට තෙමේ ශීලයෙන් උපවාද නොකෙරේ නම් එකල්හි තාගේ කුකුස කොහි ද තාගේ විපිළිසර කිමෙක් දැ යි. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි මම නො ම දනිමියි.
මහණ, ඉදින් තෙපි මා විසින් ශීලවිශුද්ධිය පිණිස දහම් දෙසන ලදැ යි නොදනිවු නම්, මහණ තෙපි එසේ ඇති කල්හි මා විසින් කුමක් පිණිස දහම් දෙසන ලදැ යි දනිවු දැ යි. වහන්ස, භාග්යවතුන් වහන්සේ විසින් අනුපාදාපරිනිර්වාණය පිණිස දහම් දෙසන ලදැයි මම දනිමි.
මහණ මැනවි මැනවි. මහණ තෙපි මා විසින් අනුපාදාපරිනිර්වාණය පිණිස දහම් දෙසන ලදැ යි දනිහු යනු මනාමය. මහණ මා විසින් උපාදාන නො කොට පිරිනිවීම පිණිස ම දහම් දෙසන ලදි.
මහණ තෙපි ඒ කිමැයි හඟිහු ද? ඇස නිත්ය ද නැතහොත් අනිත්ය දැ යි. වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් වේ ද නැතහොත් සුව වේ දැයි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි, මේ මාගේ ආත්ම ය” යි දක්නට සුදුසු දැයි. වහන්ස, මෙය නො වේ ම ය. රූ නිත්ය හෝ අනිත්ය හෝ වේ දැයි. වහන්ස, අනිත්ය ය … චක්ඛුවිඤ්ඤාණය ... ඇස් පහස … ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද … මනපහස නිසා දුක් වූ හෝ සුව වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එ ද නිත්ය ද නැතහොත් අනිත්ය ද? වහන්ස, අනිත්ය ය. යමක් අනිත්ය නම් එය දුක් ද නැතහොත් සුව දැ යි. වහන්ස, දුක් ය. යමක් අනිත්ය නම් දුක් නම් වෙනස් වනසුලු නම් එය “මෙය මාගේ ය, මේ මම වෙමි. මේ මාගේ ආත්ම ය”යි දක්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය.
මහණ මෙසේ දක්නාසුලු ශ්රැතවත් ආර්ය්යශ්රාවක ඇසෙහි දු කලකිරේ, රූ හි දු කලකිරේ, චක්ඛුවිඤ්ඤාණයෙහි දු කලකිරේ, ඇස්පහස්හි දු කලකිරේ. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහි දු කලකිරේ … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහි දු කලකිරෙයි. කලකිරෙනුයේ නො ඇලෙයි. නොඇලුම් හෙයින් මිදෙයි. මිදුණු කල්හි මිදුනේ යයි දැනීම වෙයි. ජාතිය ක්ෂීණ විය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ (රහත්) බව පිණිස අනෙකක් නැතැ යි දැනගනි යි.
භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිතැති ඒ මහණ භාග්යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්තේ ය. මේ ආගාථකසූත්රය බණනු ලබන කල්හි ඒ මහණහුගේ සිත උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදුනේ යි.
1. 8. 3.
අනිච්ච සූත්රය
76. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අයදිමි “භාග්යවතුන් වහන්සේගේ යම් ධර්මයක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත දෙක්හි නිරපේක්ෂ ව වසන්නෙම් නම් (එබඳු) දහමක් මට සැකෙවින් දෙසන සේක්වා” යි.