1. 8. 3.
අනිච්ච සූත්‍රය
76. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. ... එකත්පසෙක හුන් ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. වහන්ස, අයදිමි “භාග්‍යවතුන් වහන්සේගේ යම් ධර්‍මයක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව කායජීවිත දෙක්හි නිරපේක්‍ෂ ව වසන්නෙම් නම් (එබඳු) දහමක් මට සැකෙවින් දෙසන සේක්වා” යි.
රාධ, යමක් අනිස නම් එහි තාගේ ඡන්‍දය (කැමැත්ත) පහකටයුතු ය. රාධ කුමක් අනිස ද යත්: රාධය, ඇස අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රූ අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. ඇස්පහස අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් ඒ ද අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය.
දිව අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රස අනිස ය ... ජිව්හාවිඤ්ඤාණය අනිස ය. … දිව්පහස අනිසය … දිව්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද අනිස ය එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය.
සිත අනිස ය. එහිලා තාගේ ඡන්‍දය පහකට යුතු ය. දහම් අනිස ය. … මනෝවිඤ්ඤාණය අනිස ය ... මනපහස අනිස ය. … මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් මේ විඳුමෙක් උපදී නම් එහිලා තාගේ ඡන්‍දය පහකටයුතු ය. රාධය, යමක් අනිස නම් එහිලා ඡන්‍දය පහකටයුතු යි.
1. 8. 4.
දුක්ඛ සූත්‍රය
77. රාධය, යමක් දුක් නම් එහි තාගේ ඡන්‍දය (කැමැත්ත) පහකළ යුතු ය. රාධය, කුමක් දුක් ද යත්: රාධ, ඇස දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රූ දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් එ ද දුක් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය ... මනපහස නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් විඳුමෙක් උපදී නම් ඒ ද දුක් ය. එහිලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ, යමක් දුක් නම් එහි ලා ඡන්‍දය පහකළ යුතු යි.
1. 8. 5.
අනත්ත සූත්‍රය
78. එකල්හි ආයුෂ්මත් රාධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. … රාධ යමක් අනත් නම් එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රාධ කුමක් අනත්ද යත්: රාධ, ඇස අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. රූ අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. චක්ඛුවිඤ්ඤාණය අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය. ඇස්පහස අනත් ය. එහි ලා තාගේ ඡන්‍දය පහකළ යුතු ය.