1. 3. 9.
සප්පායපටිපදා සූත්රය
31. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්රාය වූ ප්රතිපාදාව දෙසමි. එය අසවු.
මහණෙනි, ඒ සියලු මඤ්ඤනාසමුග්ඝාතයට සත්ප්රාය වූ ප්රතිපදා කවර යත්:
මහණෙනි, මෙසස්නෙහි මහණ චක්ෂුස ආත්ම යයි නො හඟියි, චක්ෂුසෙහි ආත්ම යයි නො හඟියි, චක්ෂුසින් බැහැරැ ආත්ම යයි නො හඟියි, චක්ෂුස මාගේ යයි නො හඟී. රූපයන් ආත්ම යයි නො හඟියි … චක්ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්ඛුසසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුක්ඛ වේවයි අදුක්ඛාසුඛ වේවයි යම් මැ වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි. එහි දු ආත්මය ඇතැ යි නො හඟියි, එයින් බැහැරැ ද ආත්මය ඇතැ යි නො හඟියි, එය ආත්මය අයත් යයි ද නො හඟී.
මහණෙනි, යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැරැ ආත්මය ඇතැ’යි හඟී ද යමක් ආත්මය අයත් යයි හඟී ද එයින් ඒ අන්ප්රකාරයෙන් වෙයි. (විපරීත වෙයි.) විපරීත ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකය භවය මැ ප්රාර්ත්ථනා කරයි ...
ජිහ්වාව ආත්ම යයි නො හඟියි. ජිහ්වායෙහි ආත්මය ඇතැ’යි නො හඟියි, ජිහ්වායෙන් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි, ජිහ්වාව මාගේ යයි නො හඟී. රසයන් ආත්ම යයි නො හඟියි … ජිහ්වාසම්ඵස්සයෙන් උපදනා සුඛ වේවයි දුඃඛ වේවයි, අදුක්ඛාසුඛ වේවයි යම් වේදයිතයෙක් වේ නම් එ ද ආත්ම යයි නො හඟියි, එහි ආත්මය ඇතැ’යි නො හඟියි, එයින් බැහැරැ ආත්මය ඇත’යි ද නො හඟියි, එය ආත්මය අයත් යයි ද නො හඟී. මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ’යි හඟී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්රකාරයෙන් වෙයි. අන් අකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්රාර්ත්ථනා කෙරෙයි ...
මනස ආත්ම යයි නො හඟියි, මනසෙහි ආත්මය ඇතැ’යි නො හඟියි. මනසින් බැහැර ආත්මය ඇතැ’යි නො හඟියි මනස මාගේ යයි නො හඟියි. ධර්මයන් ආත්ම යයි නො හඟියි … මනෝවිඥානය ආතත්ම යයි නො හඟියි … මනෝසම්ඵස්සය ආත්ම යයි නො හඟියි … මනෝසම්ඵස්සප්රත්යයෙන් උපදනා සුඛ වේවයි දුඃඛ වේවයි අදුක්ඛාසූඛ වේවයි යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ආත්ම යයි නො හඟියි, එහි ආත්මය ඇතැ’යි ද එයින් බැහැර ආත්මය ඇතැයි ද නො හඟියි, එය මාගේ යයි ද නො හඟී.
මහණෙනි, යම් හෙයකින් යමක් ආත්ම යයි හඟී ද යම් තැනෙක ආත්මය ඇතැ’යි හඟී ද යමෙකින් බැහැර ආත්මය ඇතැ’යි හගී ද යමක් මාගේ යයි හඟී ද එයින් එය අන් ප්රකාරයෙන් වෙයි. අන් ආකාරයෙන් වන භවයෙහි ඇලුණු ලෝකයා භවය මැ ප්රාර්ත්ථනා කෙරෙයි.