3. සබ්බ වර්‍ගය
1. 3. 1.
සබ්බ සූත්‍රය
23. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියල්ල දෙසමි. එය අසව. මහණෙනි, සියල්ල යනු කිම යත්: චක්‍ෂුස යැ, රූපයෝ යැ ශ්‍රෝත්‍ර යැ ශබ්දයෝ යැ ඝ්‍රාණ යැ ගන්‍ධයෝ යැ ජිහ්වා යැ රසයෝ යැ කාය යැ ස්ප්‍රෂ්ටව්‍යයෝ යැ මනස යැ ධර්‍මයෝ යි. මහණෙනි, මේ සියල්ල යි කියනු ලැබේ.
මහණෙනි, යමෙක් “මම තෙල සියල්ල පිළිකෙව් කොට අන් සියල්ලක් පනවමි” යි මෙසේ කියා නම් ඔහුගේ ඒ වදන් වචන මාත්‍ර මැ වන්නේ යැ. එ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය හෙයිනි යි.
1. 3. 2.
ප්‍රහාණ සූත්‍රය
24. සැවැත්නුවර–
මහණෙනි, තොපට සර්‍වප්‍රහාණයට දහම් දෙසමි. එය අසව මහණෙනි, සර්‍වප්‍රහාණයට දහම් කවරෙ යත්: මහණෙනි, චක්‍ෂුස (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණය කටයුතු යැ. රූපයෝ ප්‍රහාණ කටයුත්තාහ. චක්‍ෂුර්විඥානය ප්‍රහාණ කටයුතු යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් ඒ ද ප්‍රහාණ කටයුතු ...
ජිහ්වා (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණ කටයුතු යැ. රසයෝ ප්‍රහාණ කටයුත්තාහ. ජිහ්වාවිඥානය ප්‍රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. ජිහ්වාසංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්‍රහාණ කටයුතු ...
භවඞ්ගචිත්ත සඞ්ඛ්‍යාත මනස (උපදවන තෘෂ්ණාව) ප්‍රහාණ කටයුතු යැ ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ ප්‍රහාණ කටයුත්තාහ. මනෝවිඥානය ප්‍රහාණය කටයුතු යැ. මනස්සංස්පර්‍ශය ප්‍රහාණ කටයුතු යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නො දුක් නො සුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ප්‍රහාණ කටයුතු .
1. 3. 3.
දෙවැනි ප්‍රහාණ සූත්‍රය
25. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියල්ල (ස්වලක්‍ෂණාවබෝධයෙන්) වෙසෙසින් දැන (සාමාන්‍යලක්‍ෂණාවබෝධයෙන්) පිරිසිඳ දැන ප්‍රහාණය පිණිස දහම් දෙසමි, එය අසව.
මහණෙනි, සියල්ල වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාණයට දහම් කවරේ යත්: මහණෙනි, චක්‍ෂුස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රූපයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. චක්‍ෂුර්විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. චක්‍ෂුස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...
ජිහ්වාව වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. රසයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. ජිහ්වාවිඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ජිහ්වාසංස්පර්‍ශ ප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නො දුක් නො සුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන ප්‍රහාතව්‍ය යි ...
මනස වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. ආලම්බන සඞ්ඛ්‍යාත ධර්‍මයෝ වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍යයෝ යැ. මනෝ විඥානය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශය වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය යැ. මනස්සංස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා සුව වේවයි දුක් වේවයි නොදුක් නොසුව වේවයි යම් මැ වේදයිතයෙක් ඇද්ද එ ද වෙසෙසින් දැන පිරිසිඳ දැන ප්‍රහාතව්‍ය ය. මහණෙනි, මේ සියල්ල අභිජානන කොට පරිජානන කොට ප්‍රහාණයට ධර්‍ම වේ.
1. 3. 4.
අපරිජාන සූත්‍රය
26. සැවැත්නුවර–
මහණෙනි, සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වෙයි. මහණෙනි, කවර සියල්ල වෙසෙසින් නො දන්නේ පිරිසිඳ නො දන්නේ දුරු නො කරන්නේ පහ නො කරන්නේ දුක් ක්‍ෂය කිරීමට අභව්‍ය වේ යැ යත්: