1. 3. 7.
අන්ධභූත සූත්‍රය
29. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක.
මහණෙනි, සියල්ල මඩනා ලදි. මහණෙනි, කවරසියල්ලක් මඩනා ලද ද යත්: මහණෙනි, චක්‍ෂුස මඩනා ලදි, රූපයෝ මඩනා ලදහ, චක්ඛුවිඤ්ඤාණය මඩනා ලදි, චක්ඛුසම්ඵස්සය මඩනා ලදි, චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් හෙද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි. ශ්‍රෝත්‍රය ...
ජිහ්වාව මඩනා ලදී. රසයෝ මඩනා ලදහ. ජිව්හාවිඤ්ඤාණ මඩනා ලදි. ජිව්හාසම්ඵස්සය මඩනා ලදි. ජිව්හාසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නො සුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි. කය …
මනස මඩනා ලදි. ධර්‍මයෝ මඩනා ලදහ. මනෝවිඤ්ඤාණය මඩනා ලදි. මනෝසම්ඵස්සය මඩනා ලදි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එද මඩනා ලදි. කිමෙකින් මඩනා ලද ද යත්: ජාතියෙන් ජරාමරණයෙන් මඩනා ලදි. සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මඩනා ලදැ යි කියමි.
මහණෙනි, මෙසේ දක්නා ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක චක්‍ෂුසෙහිත් කලකිරෙයි. චක්‍ෂුවිඤ්ඤාණයෙහිත් කලකිරෙයි. රූපයන්හිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සයෙහිත් කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි ... මනසෙහි ද කලකිරෙයි. ධර්‍මයන්හිත් කලකිරෙයි. මනෝවිඤ්ඤානයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සයෙහිත් කලකිරෙයි. මනෝසම්ඵස්සය නිසා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදනායෙක් උපදී නම් එහිත් කලකිරෙයි. කලකිරෙන්නේ නො ඇලෙයි. නො ඇල්මෙන් මිදෙයි. මිදුණු කල්හි මිදුණේ යයි දැනීම වෙයි. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දැනගනී යි.
1. 3. 8.
සාරුප්පපටිපදා සූත්‍රය
30. සැවැත්නුවර–
මහණෙනි, තොපට සියලු (තෘෂ්ණාදෘෂ්ටිමාන) මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදාව දෙසමි. එය අසවු.
මහණෙනි, ඒ සියලු මඤ්ඤනා සමුග්ඝාතයට නිසි ප්‍රතිපදා කවර යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ චක්‍ෂුස ‘මම වෙමි’ යි (තෘෂ්ණාදෘෂ්ටිමාන වශයෙන්) නො හඟියි. ‘මම චක්‍ෂුසෙහි පිහිටියෙමි’යි නො හඟියි. ‘මම චක්‍ෂුසින් බැහැරැ වෙමි’ යි නො හඟියි. චක්‍ෂුස මාගේ යයි නො හඟියි. රූපයන් ‘මම වෙමි’යි නො හඟියි. රූපයන්හි ආත්මය ඇතැයි නො හඟියි. රූපයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. රූපයෝ තමා අයත් වෙතී නො හඟියි. චක්‍ෂුර්විඥානය ආත්ම යයි නො හඟියි. චක්‍ෂුර්විඥානයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්‍ෂුර්විඥානයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්‍ෂුර්විඥානය තමා අයත් යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සය ආත්ම යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සයෙන් බැහැරැ ආත්මය ඇතැ යි නො හඟියි. චක්ඛුසම්ඵස්සය මාගේ යයි නො හඟියි. චක්ඛුසම්ඵස්සප්‍රත්‍යයෙන් උපදනා සුව වූ හෝ දුක් වූ හෝ නොදුක් නොසුව වූ හෝ යම් වේදයිතයෙක් ඇත් නම් එ ද ‘ආත්ම’යයි නො හඟියි. ආත්මය එහි වෙතී ද නො හඟියි. ආත්මය ඉන් බැහැරැ වෙතී ද නො හඟියි. එය මාගේ යයි නො හඟී.
ජිව්හාව ආත්ම යයි නො හඟියි. ජිව්හායෙහි ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හායෙන් බැහැරැ ‘ආත්මය ඇතැ’යි නො හඟියි. ජිව්හාව මාගේ යයි නො හඟියි. රසයන් ආත්ම යයි නො හඟියි. රසයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. රසයෙන් බැහැරැ ආත්මය ඇතැ’යි නො හඟියි. රසයෝ මාගේ යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය ආත්ම යයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙහි ආත්මය ඇතැ යි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණයෙන් බැහැරැ ආත්මය ඇතැයි නො හඟියි. ජිව්හාවිඤ්ඤාණය මාගේ යයි නො හඟියි. ජිව්හාසම්ඵස්සය ආත්මය යි නො හඟි යි.