1. 18. 6.
කාමභූ සූත්රය
233. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ සවස්වේලෙහි විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සමග සතුටුවූහ. සතුටු වියයුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් කාමභූ තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ:
ඇවැත්නි ආනන්දයෙනි, කිමෙක් ද ඇස රූපයනට සංයෝජන ද, රූපය ඇසට සංයෝජන ද, ... දිව රසයනට සංයෝජන ද, රස දිවට සංයෝජන ද, ... සිත දහමුන්ට සංයෝජන ද, දහම් සිතට සංයෝජන දැ යි.
ඇවැත්නි කාමභූවෙනි, ඇස රූපයනට සංයෝජන නො වේ. රූපය ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ. රස දිවට සංයෝජන නො වේ ... සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
ඇවැත්නි, කළුගෝනෙකුත් සුදුගොනෙකුත් එක්දමකින් හෝ යොතෙකින් හෝ යම්සේ ඈඳන ලද්දාහු වෙද්ද, කළුගෝනා සුදුගොනාගේ බැඳුම ය, සුදුගොනා කළුගොනාගේ බැඳුම යයි යමෙක් මෙසේ කියන්නේ නම් ඒ කියන්නා මැනැවින් කියන්නේ දැ යි. ඇවැත්නි මෙය නො වේ ම ය. ඇවැත්නි කළුගෝනා සුදුගොනාගේ බැඳුම නො වේ. සුදුගොන් කළුගොනුගේ බැඳුම නො ද වේ. යම් එක් දමකින් හෝ යොතකින් හෝ ඔහු ඈඳන ලද්දාහු නම් එය එහි බැඳුම යි.
ඇවැත්නි එසෙයින් ම ඇස රූපයන ට සංයෝජන නො වේ. රූ ඇසට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි ... දිව රසයනට සංයෝජන නො වේ … සිත දහමුන්ට සංයෝජන නො වේ. දහම් සිතට සංයෝජන නො වේ. එහි එදෙක නිසා යම් ඡන්දරාගයෙක් උපදී නම් එය එහි සංයෝජන යි.
1. 18. 7.
උදායී සූත්රය
234. එක්කලෙක ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ ද ආයුෂ්මත් උදායී තෙරණුවෝ ද කොසඹෑ නුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් උදායි තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී තෙරණුවෝ ආයුෂ්මත් ආනන්ද තෙරණුවන්ට මෙය කීහ:
ඇවැත්නි ආනන්දයෙනි, “මෙ කරුණෙනිදු මේ කය අනත් ය යි භාග්යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන්අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, එපරිදෙන් ම මෙකරුණෙනුදු මේ විඥානය අනත් ය යි මේ විඥානය ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ දැ” යි.
ඇවැත්නි උදායීනි, “මෙකරුණෙනුදු මේ කය අනත් යයි භාග්යවතුන් වහන්සේ විසින් මේ කය යම්සේ නන් අයුරින් වදාරන ලද ද, විතර කරන ලද ද, පවසන ලද ද, එපරිද්දෙන් ම මෙ කරුණෙනුදු මේ විනැණත් අනත් ය යි මේ විනැණ ද කියන්නට දෙසන්නට පනවන්නට පිහිටුවන්නට විතර කරන්නට බෙදන්නට පැහැදිලි කරන්නට හැක්කේ ය” යි.